අදානිගේ සමාගම් 7ක ඩො.බි 48ක් අහිමි වෙලා – අදානිගේ ගනුදෙනු ගැන නියාමකයන්ගේ වැඩි අවදානය

ලොව සිව්වැනි ධනවතා ලෙස සැලකෙන ගෞතම් අදානිට අයත් අදානි එන්ටර්ප්‍රයිසස් සමාගම් සමූහයෙහි කොටස් වටිනාකම් අද දිනයේදී තවදුරටත් පහළ වැටීමක් සිදු වුණු බව ඉන්දියානු කොටස් වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසයි.

එක්සත් ජනපදයේ වෙළෙඳ පොළ පර්යේෂණ ආයතනයක් වන Hindenburg විසින් පසුගිය අගහරුවාදා (24දා) අදානි සමූහය සතු ණයබරතාව සහ එම සමාගම විසින් සිදුකළැයි පැවසෙන බදු සහන සහිත ස්ථානවල මුදල් ආයෝජනය කිරීමේ අවස්ථාවන් සම්බන්ධයෙන් සිදු කළ අනාවරණයත් සමගින්ම අදානි සමාගමේ වෙළෙඳ පොළ වටිනාකම් කඩා වැටීම ආරම්භ විය.

ඊයේ දිනයට යෙදී තිබුණු ඉන්දීය ජනරජය දිනය නිමිත්තෙන් කොටස් වෙළෙඳ පොළ වසා දමා තිබූ අතර, බදාදා දිනයට පසුව යළිත් ගනුදෙනු සඳහා එය විවෘත වූයේ අද දිනයේදීය.

බදාදා දිනයේදී කොටස් වෙළෙඳ පොල ගනුදෙනු අවසානයේදී ඉන්දියානු රුපියල් 3388.00ක් වූ අදානි එන්ටර්ප්‍රයිසස් සමාගමේ කොටස් වටිනාකම අද දිනයේ ගනුදෙනු අවසානයේදී රුපියල් 2761.00ක් දක්වා පහත වැටී තිබේ. ඒ අනුව මේ දක්වා එම සමාගමේ කොටසක වටිනාකම 20%ක ප්‍රතිශතයකින් පහත වැටී තිබේ.

එසේම අද දිනය වනවිට පමණක් අදානි එන්ටර්ප්‍රයිසස් සමාගමට අයත් තවත් ලැයිස්තුගත සමාගම් හතක වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය වෙත එක්සත් ජනපද ඩොලර් බිලියන 48ක මුදලක් අහිමි වී තිබෙන බව වාර්තා සඳහන් කරයි.

අද දිනයේදී පමණක් අදානි එන්ටර්ප්‍රයිසස් සමාගම 9%කින්ද, අදානි ට්‍රාන්ස්මිෂන් 19.47%කින්ද, අදානි ග්‍රීන් එනර්ජි 19.89%කින්ද, අදානි පවර් 5%කින් සහ අදානි පෝර්ට් සමාගම 13.8%කින්ද කොටස් වටිනාකම් පහළ බැස තිබේ.

කෙසේ වෙතත් Hindenburg පර්යේෂණ ආයතනය විසින් සිදුකළ මෙම අනාවරණය ප්‍රතික්ෂේප කරන බව අදානි සමූහය සඳහන් කරයි. මෙහිදී අනාවරණය කර ඇති ආකාරයට දරුණු ණයබරතාවකින් අදානි සමාගම නොපෙළෙන බවත් එය කළමනාකරණය කරගත හැකි මට්ටමක් වන බවත් සමාගම ප්‍රකාශ කර තිබේ.

මේ අතර ඉන්දියාවේ කොටස් වෙ‍ළෙඳ පොළ නියාමන ආයතනය මගින් අදානි සමූහය විසින් ගතවූ ආසන්න වසරක කාලය තුළදී සිදුකළ බව පැවසෙන ගනුදෙනු සම්බන්ධයෙන් වන සෝදිසි කිරීම් ඉහළ දැමීමටද අද තීරණය කර තිබේ. එහිදී Hindenburg පර්යේෂණ ආයතනය නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන් තවදුරටත් විමර්ෂණය කිරිමටත්, සමූහයේ විදේශ ආයෝජක කළඹ සම්බන්ධයෙන් සිදුකරන මූලික විමර්ශන වෙත තවත් කරුණු ඇතුළත් කිරිමටත් එම නියාමකයන් තීරණය කර තිබේ.

විශේෂයෙන්ම අදානි සමුහය පසුගිය වසරේදී ඉන්දියාවේ අම්බුජා සිමෙන්ති සමාගමේ සහ ACC සිමෙන්ති සමාගම තුළ තිබූ ස්විස්ටර්ලන්තයේ හොල්සිම් සමාගමට අයත් කොටස් අත්පත් කර ගැනීමේදී සිදු වූ බව කියන අක්වෙරළ ගනුදෙනු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුව තිබේ.

ගෞතම් අදානි 2008 වසරේදී ලොව බිලියනපතියන්ගේ ලැයිස්තුවට ඇතුළත් වූ අතර, පසුගිය වසර අවසන් වනවිට ඔහුගේ සමස්ත වත්කම එක්සත් ජනපද ඩොලර් බිලියන 113ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව ඔහු ලොව මුල් ධනවතුන් සිව්දෙනා අතර සිටීමටද සමත්ව සිටියි. කෙසේ වෙතත් මේ වසර ආරම්භයේ සිට මේ දක්වා ඔහුගේ වත්කම ඩොලර් බිලියන 7කින් අඩුවී ඇතැයිද වාර්තා පවසයි.

මේ අතර Hindenburg පර්යේෂණ ආයතනය මගින් සිදුකළ මෙම අනාවරණයත් සමගින්ම මතුව තිබෙන තත්ත්වයත් අනුව අදානිගේ ව්‍යාපාර සමූහය කඩා වැටීමේ අවදානමක් පවතින බවත් ඇතැමුන් පවසා සිටියි.

කෙසේ වෙතත් මෙම වාර්තාව සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අදානි සමූහය දැනටමත් ප්‍රකාශ කර තිබේ.

Visits: 203