ඩොලර්වලට නිවාස විකුණා මිලියන 20ක ආදායම් බලාපොරොත්තුවක්, වැඩිම උනන්දුව පන්නිපිටිය වියත්පුරට

නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පාන්තික නිවාස ඩොලර්වලට අලෙවි කිරීමේ ව්‍යාපෘතිය හරහා මේ වසරේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 20ක පමණ ආදායමක් හිමි කරගැනීමට බලාපොරොත්තු වන බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය පවසයි.

පසුගිය වසරේදී පමණක් මෙම ව්‍යාපෘතිය හරහා ඩොලර් ලක්ෂ පහක ආදායමක් ඉපැයීමට එම අධිකාරිය සමත්ව තිබේ.

මෙරට තිබෙන ඩොලර් අර්බුදයට විසදුමක් ලෙස නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකර ඇති මධ්‍යම පාන්තික නිවාස විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට හා විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට අලෙවි කිරීමට පියවර ගැණුනේ විෂයභාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදියි.

ඊට අදාල පළමු නිවස පසුගිය සැප්තැම්බර් මාසයේදී අළෙවි විය. එය මිලදී ගත්තේ ඩුබායි රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයෙකි.

මෙම වැඩසටහන යටතේ මේ වසරේ පළමු නිවසද මේවන විට අලෙවි වී ඇති අතර එය මිලදී ගෙන ඇත්තේ කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකි. ඔහු එය මිලදී ගෙන ඇත්තේ ඇමරිකානු ඩොලර් 40,700 කට වන අතර එය මෙරට මුදලින් රුපියල් මිලියන 15 ක් පමණ වේ.

නාගරික සංවර්ධන අධිකාරිය පවසන්නේ මේ වනවිට නිවාස 11 ක් ඩොලර් වලට අලෙවි වී ඇති බවයි. එම නිවාස අළෙවිවී ඇත්තේ පන්නිපිටිය, වීරමාවතේ පිහිටි වියත්පුර නිවාස සංකීර්ණයෙනි. මේ වනවිට එම නිවාස සංකීර්ණයේ නිදන කාමර දෙකක් සහිත නිවාස සම්පූර්ණයෙන්ම විකිණී අවසන් බවද නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

ඩුබායි, ඇමරිකා එක්සත් ජනපදය,කැනඩාව,එක්සත් රාජධානිය, ඕමාන් කටාර් රාජ්‍යය හා ෆීජී දූපත්වල ජීවත්වන ශ්‍රී ලාංකිකයන් විසින් මෙම නිවාස මිලදීගෙන තිබේ.  නිවාසවල වටිනාකම එකවර ගෙවූ බැවින් ඔවුන්ට සියයට 10ක වට්ටම් දීමනාවක්ද හිමිව ඇත. එමෙන්ම තවත් නිවාස 5 ක් මිලදී ගැනීමට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ඉල්ලීම්කර ඇති බවද එම අධිකාරිය පවසයි.

නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පාන්තික නිවාස ඩොලර් වලට අලෙවි කිරිමේ වැඩපිළිවෙල යටතේ මේ වනවිට ඇමරිකානු ඩොලර් 502,170.93 ක ආදායමක් උපයාගෙන තිබේ. එය මෙරට මුදලින් රුපියල් මිලියන 181.2 කි.

පසුගිය වසරේ ඩොලර් වලින් නිවාස අලෙවි කොට ලබා ගැනීමට අපේක්ෂා කළ ආදායම ඩොලර් ලක්ෂ 05 කි. වසර අවසන් වීමට පෙර අදාළ ඉලක්කය සපුරා ගැනීමට නාගරික සංවර්ධන අධිකාරිය සමත් විය.

නාගරික සංවර්ධන අධිකාරිය සතු මධ්‍යම පාන්තික නිවාස විදෙස්ගත ශ්‍රී ලංකිකයන්ට අළෙවි කිරීමෙන් මෙම වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 2 ක පමණ අදායමක් උපයා ගැනීම සිය ඉලක්කය බව එම අධිකාරිය වැඩිදුරටත් සදහන් කරයි.  

මේ අතර, විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් සදහා නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පාන්තික නිවාස ඩොලර්වලට අලෙවි කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රවර්ධන කටයුතු ජාත්‍යන්තර මට්ටමින් ඇරඹීමටද කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් සිටින රටවල් ආශ්‍රිතව පැවැත්වෙන නිදහස් උත්සව සහ සමුළු සදහා මෙම ප්‍රවර්ධන වැඩසටහන හදුන්වාදීමට කටයුතු කරමින් සිටින බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

එහි පළමු පියවර ලෙස නිදහස් දිනයට සමගාමීව ඩුබායි හි පැවැත්වෙන ශ්‍රී ලංකා දින සැමරුම් උත්සවයේ දී  මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතයි.

ශ්‍රී ලංකාවේ නිදහස් දිනයට සමගාමීව ඩුබායි ශ්‍රී ලංකා දින සැමරුමපෙබරවාරි 11 වනදා ඩුබායි හී සබ්බ්‍රීල් හිදී පැවැත්වෙන අතර ඊට ඩුබායි සහ මැදපෙරදිග රටවල වෙසෙනශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 20,000 කට අධික පිරිසක් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ අතර නාගරික සංවර්ධන අධිකාරිය විසින් මේ වන විට ඉදිකිරීම් අවසන් කර ඇති කොළඹ හාබර් වීව් රෙසිඩන්සිස් නිවාස ව්‍යාපෘතියද ඩොලර් වලට  නිවාස අලෙවි කිරිමේ වැඩපිළිවෙල සදහා වෙන් කෙරෙන බවද නාගරික සංවර්ධන අධිකාරිය පවසයි. මෙහි නිවාස 400 ක් ඇති අතර එක් නිවසක ප්‍රමාණය වර්ග අඩි 500 කි. ඩොලර් මගින් එම නිවසක් මිලදී ගැනීමේ දී ගෙවිය යුතු වන්නේ ඩොලර් 40,000 කි.

එසේම විදේශීය පුරවැසියන්ටද මෙම නිවාස මිලදී ගැනීමට හැකිවන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ නිර්දේශ මත විශේෂ අභ්‍යන්තර ආයෝජන ගිණුමක්ද (INWARD INVESTMENT ACCOUNT ) මේ වන විටවිවෘත කිරීමට කටයුතු යොදා තිබේ. නාගරික සංවර්ධන අධිකාරියේ නිල වෙබ් අඩවිය වන www.uda.gov.lk පිවිසීමෙන් මේ සම්බන්ධ වැඩි විස්තර හා අවශ්‍ය අයඳුම් පත්‍ර ලබාගැනීමට හැකි බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.එමෙන්ම නාගරික සංවර්ධන අධිකාරියේ 077 – 7794016 දුරකතනයට ඇමතීමෙන් ද මේ සම්බන්ධ වැඩි විස්තර ලබාගත හැකිය.

Visits: 100