කලම්බු ඩොක්යාර්ඩ් නෝර්වේහි Misje සමාගමට නිපද වූ දෙවැනි Eco Bulk Carrier නෞකාවත් දියත් කෙරේ

ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස ස්ථාපත කෙරී ඇති, කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී සමාගම නෝර්වීජියානු සමාගමක් වන Misje Eco Bulk As. සමාගම සඳහා නිපදවූ දෙවැනි 5000DWT Eco Bulk Carrier යාත්‍රාව නිල වශයෙන් දියත් කිරිම පසුගියදා සිදු විය.

ජපානයේ Onomichi සමාගමත් සමගින් ඇති කරගත් හවුල්කාරීත්වය යටතේ කලම්බු ඩොක්යාර්ඩ් සමාගමෙහි ශ්‍රී ලාංකීය තාක්ෂණය සහ දැනුම යොදා ගනිමින් මෙම නෞකාව ඉදිකර තිබේ.

එසේම මෙම නෞකාව හිමි Misje Eco Bulk As. සමාගම කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී සමාගමෙහි පළමු යුරෝපියානු ගනුදෙනුකරුවාද වෙයි. මෙම නෞකා ඇනවුමේ පළමු නෞකාව පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී භාරදීමට කලම්බු ඩොක්යාර්ඩ් සමාගමට හැකි විය.

දිගින් මීටර් 89.95ක් වන මෙම නෞකාව Misje Verde ලෙස නම් කෙරී ඇත. එය එක්වරකට 500DWT (Deadweight tonnage) බරකින් යුත් භාණ්ඩ තොගයක් රැගෙන යාමේ ධාරිතාවකින් යුක්තව නිර්මාණය කර තිබේ. මෙවැනි නෞකා මගින් ලී, ධාන්‍ය මෙන්ම බහාලුම්ද රැගෙන යා හැකි බව පැවසෙයි.

මෙම නෞකාව සඳහා අවශ්‍ය බලය සැපයීම සඳහා සිව්පහර ඩීසල් එන්ජින් පිහිටුවා තිබේ. එසේම බැටරි ගබඩා පද්ධතියක් හරහා ලබා දෙන අමතර බලශක්තියක් වෙනුවෙන් වන විද්‍යුත් දෙමුහුන් සැපයුම් පද්ධතියක්ද මෙම නෞකාව සතුය.

මෙම නෞකාව දියත් කිරීමේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේනුකා එම්.වීරකෝන් මහත්මිය, නෝර්වේ සහ ජපාන තානාපති කාර්යාලවල තානාපතිවරුන් ඇතුළු නිලධාරීන්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ, අපනයන සංවර්ධන මණ්ඩලයේ සහ රේගු දෙපාර්තමේන්තුවේ මෙන්ම කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී සමාගමෙහි ඉහළ කළමනාකාරීත්වය සහ සේවකයන්ද සම්බන්ධව සිට ඇත.

Visits: 124