සම්පත් බැංකුවෙහි රුපියල් බිලියන 10ක් වටිනා ණයකර නිකුතුව ජනවාරි 31 වැනිදා

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි ලියාපදිංචි බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන සම්පත් බැංකුව විසින් කොළඹ කොටස් හුවමාරුව තුළ සිය ණයකර නිකුතුවක් සඳහා සැලසුම් කරමින් සිටින බව පවසයි.

ඒ සඳහා වන අනුමැතියද පසුගියදා කොළඹ කොටස් හුවමාරුව වෙතින් හිමිව තිබේ.

ඒ අනුව මෙහිදී බාසෙල් III අනුකූල, අදියර 2, ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිත නොවූ, උපප්‍රදාන, පිරිමුදවාගත හැකි ණයකර නිකුතුවක් ලෙස මෙය සිදු කරන බව සම්පත් බැංකුව පවසයි.

මෙහිදී මූලික නිකුතුව ලෙස ණයකර කොටස් මිලියන 50ක් (50,000,000ක්) නිකුත් කිරීම සැලසුම වී තිබේ. එහිදී එක් ණයකරයක් රුපියල් 100ක් බැගින් මිලකෙරී ඇති අතර, මෙම නිකුතුවේ වටිනාකම රුපියල් බිලියන 5කි.

මේ අතර එම මූලික නිකුතුව සඳහා හිමිවන අධි දායකත්වයත් සමගින් තවත් ණයකර කොටස්මිලියන 20ක් නිතුත් කිරීමටත් බැංකුව අදහස් කරගෙන සිටියි. එහිදීද ණයකර කොටසක් රුපියල් 100ක් ලෙස මිල කෙරී ඇති අතර, නිකුතවේ වටිනාකම රුපියල් බිලියන 2 කි.

එසේම මෙම මුල් නිකුතු දෙක සඳහා හිමිවන අධි දායකත්වයත් සමගින් තවත් ණයකර කොටස් මිලියන 30ක් නිකුත් කරන බවත් සම්පත් බැංකුව පවසයි. එහිදීද ණයකර කොටසක් රුපියල් 100 බැගින් මිල කෙරී ඇති අතර, නිකුතුවේ වටිනාකම රුපියල් බිලියන 3කි.

ඒ අනුව මෙම සමස්ත නිකුතුව හරහා සිදු කිරිමට සැලසුම් කර ඇති උපරිම ණයකර කොටස් ප්‍රමාණය මිලියන 100ක් වන බවත්, එහි වටිනාකම රුපියල් බිලියන 10ක් නොඉක්මවනු ඇති බවත් සම්පත් බැංකුව පවසා සිටියි.

මෙහිදී Type A  සහ Type B ලෙස මෙම ණයකර කොටස් නිකුතුව වර්ග කර ඇති අතර, එහිදී Type A නිකුතුව වාර්ෂිකව 28.00%ක ස්ථාවර කූපන් පොළී අනුපාතයක් යටතේ හිමිවන වාර්ෂිකව ගෙවීම සිදුකරන්නක් යටතේ ඉදිරිපත්ව තිබේ.

එසේම Type B නිකුතුව වසරක කාලයක් බැඳුම්කර බිල්පත් අනුපාතයට එක් කළ 1.5%ක ප්‍රතිශතයක් සහිතව පාවෙන කූපන් පොළී අනුපාතයක්, 20%ක අවම වාර්ෂික සහ 31%ක උපරිම පොළී අනුපාතයකට යටත්ව වාර්ෂිකව ගෙවීම සිදුකරන්නක් යටතේ ඉදිරිපත් කර තිබේ.

සම්පත් බැංකුව සඳහන් කරන ආකාරයට මෙම ණයකර නිකුතුව ලබන ජනවාරි 31 වැනිදා කොළඹකොටස් හුවමාරුවෙහිදී විවෘත කිරිම සැලසුම වී තිබේ.

මෙහිදී එම නිකුතුවේ කළමනාකරුවන් ලෙස සම්පත් බැංකුවෙහි ආයෝජන සබඳතා දෙපාර්තමේන්තුව කටයුතු කරයි.

මෙම ණයකර නිකුතුවට අදාළ සංස්ථා ප්‍රකාශනය අද දිනයේදී ප්‍රසිද්ධියට පත් කිරිමට නියමිතව තිබේ.

Visits: 160