LODF සහ LOFC ඒකාබද්ධයේදී සෑම LODF කොටසක් සඳහාම LOFC කොටස් 55ක් හිමිවෙයි

LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහයට අයත් ලැයිස්තුගත මූල්‍ය සමාගමක් දෙකක් වන LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී (LODF) සහ LOLC ෆිනෑන්ස් පීඑල්සී (LOFC) යන සමාගම් ලබන ජනවාරි 31 වැනිදා දිනයේ සිට ඒකාබද්ධ කිරිමට එම සමූහය තීරණය කර තිබේ.

ඒ අනුව මින් ඉදිරියට එම සමාගම LOLC ෆිනෑන්ස් පීඑල්සී ලෙස මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යනු ඇතැයි LOLC සමූහය මීට පෙර නිවේදනය කර තිබේ.

2007 අංක 07 දරන සමාගම් පනත යටතේ සිදුවන මෙම ඒකාබද්ධ කිරීමේදී LODF කොටස් හිමිකරුවෙකුට LOFC සමාගමෙහි හිමිවන කොටස් ප්‍රමාණය පිළිබඳව එම සමාගම් දෙකම ඊයේ (20දා) කොටස් හුවමාරුව වෙත අනාවරණය කර තිබුණි.

ඒ අනුව මෙම ඒකාබද්ධ කිරීමේදී LODF කොටසක් හිමි අයෙකු වෙත LOFC සමාගමෙහි කොටස් 55ක් හිමි වන බව සඳහන් වෙයි.

මෙහිදී LODF කොටසක් රුපියල් 379.50ක මුදලකටද, LOFC කොටසක් රුපියල් 6.90ක මුදලකටද මිල කිරීමට කටයුතු යොදා තිබේ.

මෙලෙස අදාළ සමාගම්වල කොටස් මිල ගණන් තීරණය කිරිම පසුගිය ජනවාරි 19 වැනිදා දිනයේදී කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී පැවැති මිල ගණන් අනුව සිදුකර ඇති අතර, එය සමාගම් දෙක මගින්ම පසුගිය ජනවාරි 04වැනිදා ප්‍රකාශයට පත් කළ ආකාරයට ලබන ජනවාරි 26 වැනිදා පැවැත්වෙන සමාගමේ අතිවිශේෂ හමුවට ගනුදෙනු දින 5කට පෙරාතුව පවතින වටිනාකම්ය..

ඒ අනුව මෙම ඒකාබද්ධ කිරිම යටතේ ලබන ජනවාරි 31 වැනිදා වනවිට දැනට LODF හි කොටස් 251,415,963ක් සඳහා LOFC හි කොටස් 13,827,877,965ක් නිකුත් කිරීමක් සිදුවනු ඇතැයිද සමාගම් දෙකම සඳහන් කර සිටියි.

Visits: 285