“ශ්‍රී ලංකාවට IMF සහාය සඳහා මූල්‍ය සහතිකය ලබා දුන්නා” – ඉන්දීය විදේශ කටයුතු ඇමති එස්.ජයශංකර්

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහාය ලබාගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය සහතිකය ලබාදීමට ඉන්දියාව කටයුතු කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් මහතා පැවසීය.

ඊයේ (20) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය අලී සබ්‍රි මහතාද මීට එක් විය.

ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්කිරීම සඳහා ණයහිමියන් ක්‍රියාශීලිව පියවරගත යුතු බව ඉන්දියාව දැඩි ලෙස විශ්වාස කරන බවත්, එබැවින් අන් පාර්ශ්ශව දෙස බලා නොසිට නිවැරදි යැයි සිතන පියවර ගැනීමට ඉන්දියාව තීරණය කළ බවත් විදේශ අමාත්‍යවරයා මෙහිදීප වසා තිබේ.

ශ්‍රී ලංකාව නිසැකවම වත්මන් ආර්ථික අභියෝගය ජයගන්නා බව ඉන්දියාව විශ්වාස කරන අතර, විශ්වාසවන්ත මිතුරෙකු ලෙස ඉන්දියාව මෙම අසීරු කාලසීමාවේදී ශ්‍රී ලංකාව සමඟ සිටින බව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ප්‍රකෘත්මත් කිරීම සඳහා ඉන්දියාවෙන් ලබාගත හැකි සහාය පිළිබඳ සාකච්ඡා කිරීමට හැකි ඉක්මණින් ඉන්දියාවට පැමිණෙන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය න‍රේන්ද්‍ර මෝදි මහතා කළ ආරාධනය තමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදුන් බව ද ඔහු ප්‍රකාශ කළේය.

ඉන්දියාව ශ්‍රී ලංකාවේ විශ්වාසදායක අසල්වැසියෙක් සහ විශ්වාසවන්ත හවුල්කරුවෙකු බවත්, මෙම අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාවට යළි ප්‍රකෘතිමත්වීම සඳහා අමතර පියවර ගණනාවක් වුවත් ඉදිරියට තැබීමට ඉන්දියාව සූදානම් බවත් ජයශංකර් මහතා පවසා සිටියේය.

ශ්‍රී ලාංකිය ආර්ථිකයට යළි ප්‍රකෘතිමත් තත්ත්වයට පැමිණිම සඳහා එම ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍ර වන බලශක්තිය, සංචාරක ව්‍යාපාරය සහ යටිතල පහසුකම් සංවර්ධන ක්ෂේත්‍රයන් තුළ ආයෝජන සිදු කිරීමට ආ‍යෝජකයන් දිරි ගන්වන බව ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය අලී සබ්‍රි මහතා, පසුගිය වසරේ ශ්‍රී ලංකාව මෙතෙක් අත්විඳින ලද බරපතලම ආර්ථික අර්බුදයකට මුහුණ දුන් බවත්, එහිදී ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දුන් සහාය කෘතවේදීව සිහිපත් කළයුතු බවත් පවසා සිටියේය.

එසේම ශ්‍රී ලංකාවේ ආර්ථික හා මූල්‍ය ස්ථාවරත්වය යම් මට්ටමකට නැවත පත්කර ගැනීම වෙනුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා ඉන්දියාව ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලියන 4ක ණය පහසුකම් මෙන්ම ශ්‍රී ලංකාවට අනෙකුත් මානුෂීය ආධාර ලබා දෙමින් දැක්වූ සහයෝගය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට සහ ඉන්දීය රජයට කෘතඥතාව පිරිනැමීමට මම මෙය අවස්ථාවක් කර ගන්නා බවද අමාත්‍යවරයා පැවසීය.

මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡාවලදී මේ වන විට ශ්‍රී ලංකාව තීරණාත්මක සංධිස්ථානයක සිටින බව පැවසූ අමාත්‍යවරයා, ණයහිමියෙකු ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට සහතිකයක් ලබා දී තිබෙන බවත් පවසා සිටියේය.

Visits: 56