කැන්ඩි හොටේල් (1938) පීඑල්සී සමාගම යුනයිටඩ් හොටේල්ස් සමාගම අත්පත් කරගනී

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කැන්ඩි හොටේල්ස් කම්පැනි (1938) පීඑල්සී සමාගම සිය පරිපාලිත සමාගමක් ලෙස පැවැති යුනයිටඩ් හොටේල්ස් කම්පැනි ලිමිටඩ් සමාගම සම්පූර්ණයෙන්ම අත්පත් කරගැනීමට කටයුතු කර ඇතැයි පවසයි.

කැන්ඩි හොටේල්ස් කම්පැනි (1938) පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පසුගිය ජනවාරි 19 වැනිදා මේ පිළිබඳ අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව එම සමාගම මගින් යුනයිටඩ් හොටේල්ස් කම්පැනි ලිමිටඩ් සමාගම මගින් නිකුත් කර ඇති සමස්ත ප්‍රාග්ධනයෙන් කොටස් 83.89%ක ප්‍රතිශතයක් මිලදී ගැනීමට මෙහිදී කටයුතු යොදා තිබේ.

මේ අතර එම මිලදී ගැනීම සිදු කරන අවස්ථාව වනවිටත් කැන්ඩි හොටේල්ස් කම්පැනි (1938) පීඑල්සී සමාගම සතුව යුනයිටඩ් හොටේල්ස් කම්පැනි ලිමිටඩ් සමාගමෙහි කොටස් 16.11%ක ප්‍රතිශතයක් තිබූ බව සමාගම පවසයි.

එසේම මෙම මිලදී ගැනීම සිදුවන අවස්ථාව වනවිට යුනයිටඩ් හොටේල්ස් කම්පැනි ලිමිටඩ් සමාගමෙහි 67.51%ක කොටස් ප්‍රතිශතයක හිමිකාරීත්වයක් තිබී ඇත්තේ කැන්ඩි හොටේල්ස් කම්පැනි (1938) පීඑල්සී සමාගමෙහි මව්සමාගම වන සිලෝන් හොටේල්ස් කෝපරේෂන් පීඑල්සී සමාගම වෙතයි.

ඒ අනුව මෙහිදී සිලෝන් හොටේල්ස් කෝපරේෂන් පීඑල්සී සතුව තිබූ කොටස් සහ අනෙකුත් කොටස් හිමිකරුවන් සතුව තිබූ කොටස් මිලදී ගැනීමට කැන්ඩි හොටේල්ස් කම්පැනි (1938) පීඑල්සී සමාගම කටයුතු යොදා තිබේ.

එම කොටස් හිමිකරුවන් වන්නේ සිලෝන් හොටේල්ස් කෝපරේෂන් පීඑල්සී, සිලෝන් හොටේල්ස් ඉන්වෙස්ට්මන්ට් (පෞද්) සමාගම, සිලෝන් හොටේල් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම සහ අභාවප්‍රාප්ත ඩොන් සයිමන් ගුනසේකර යන මහත්වරුන්ය.

මෙම අත්පත් කරගැනීම හරහා කැන්ඩි හොටේල්ස් කම්පැනි (1938) පීඑල්සී සමාගම යුනයිටඩ් හොටේල්ස් කම්පැනි ලිමිටඩ්හි එකම තනි කොටස්හිමිකරුවා බවට පත්ව තිබේ.

මෙහිදී සිලෝන් හොටේල් කෝපරේෂන් පීඑල්සී සහ කැන්ඩි හොටේල්ස් කම්පැනි (1938) පීඑල්සී අතර සිදුවන කොටස් හුවමාරුවක් ලෙස මෙම ගනුදෙනුව සිදුව ඇති අතර, සෑම කැන්ඩි හොටේල්ස් කම්පැනි (1938) පීඑල්සී කොටසක් සඳහාම යුනයිටඩ් හොටේල්ස් කම්පැනි හි කොටස් 0.9813ක් හිමිවන ආකාරයෙන් එය සිදුව තිබේ.

ඒ අනුව නිකුත් කර ඇති සමස්ත කොටස් සංඛ්‍යාව 176,809,253 කි. මෙහිදී කොටසක් රුපියල් 14.96ක් බැගින් මිල කෙරී ඇති අතර, සමස්ත ගනුදෙනුවේ වටිනාකම රුපියල් බිලියන 3.8ක් (3,809,901,974ක්) ලෙස සටහන්ව තිබේ.

අද වනවිට මෙම යුනයිටඩ් හොටේල්ස් කම්පැනි ලිමිටඩ් සමාගම සතුව Ekho Surf Hotel Bentota, Ekho Safari hotel  Tissamaharama, The Lake Hotel සහ the iconic Lake house in Polonnaruwa යන හෝටල් පවතී.

මෙම අත්පත්කරගැනීමත් සමගින්ම කැන්ඩි හොටේල්ස් කම්පැනි (1938) පීඑල්සී සමාගමට ප්‍රධානතම සංචාරක ස්ථාන තුළ සිය ව්‍යාප්තිය තවදුරටත් සිදු කරමින්, පුළුල් වූ ගනුදෙනුකරුවන් පිරිසකට සේවා සැලකිය හැකි බව එම සමාගම පවසයි.

මහනුවර පිහිටි සුප්‍රසිද්ධ ක්වීන්ස් හෝටලය ඇතුළුව තවත් ප්‍රධානතම හෝටල් රැසක හිමිකාරීත්වය පවතින්නේද කැන්ඩි හොටේල්ස් කම්පැනි (1938) පීඑල්සී සමාගමෙහි මව් සමාගම වන සිලෝන් හොටේල් කෝපරේෂන් පීඑල්සී සමාගමටයි.

2022 මාර්තු 31 වැනිදා වනවිට සිලෝන් හොටේල් කෝපරේෂන් පීඑල්සී සමාගමෙහි පළමු කොටස් හිමිකරුවන් තිදෙනා වන්නේ එන්ඩීබී බැංකුව/සිලෝන් හොටේල්ස් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම (33.46%ක්), සිලෝන් හොටේල් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම (21.10%ක්) සහ සේවක අර්ථසාධක අරමුදල (11.95%ක්) ලෙසිනි.

Visits: 152