Dipped Products PLC මධ්‍යම ගබඩා සංකීර්ණය බියගමදී විවෘත කෙරේ

මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් සමූහයක් වන හේලීස් සමූහයට අයත් රබර් ආශ්‍රිත අත්වැසුම් නිෂ්පාදන සිදු කරන Dipped Products PLC සමාගම (DPL) සිය නවතම මධ්‍යම ගබඩා සංකීර්ණය, ‘DPL Central Warehouse’ ඊයේ (19දා) දිනයේදී බියගම අපනයන සැකසුම් කලාපයේදී විවෘත කර තිබේ.

හේලිස් සමාගමේ සභාපති මොහාන් පණ්ඩිතගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණු මෙම අවස්ථාව සඳහා DPL හි නියෝජ්‍ය සභාපති රජිත කාරියවසන්, හේලීස් විධායක අධ්‍යක්ෂ සරත් ගනේගොඩ, DPL හි කළමනාකාර අධ්‍යක්ෂ පුෂ්පික ජනධීර, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සහ සේවකයන් එක්ව සිට ඇත.

මෙහිදී අදහස් දක්වා ඇති DPL හි කළමනාකාර අධ්‍යක්ෂ පුෂ්පික ජනධීර මහතා, “අනාගතයේදී මුහුණ දෙන අභියෝග වෙත සූදානම්වීමක් ලෙස DPL වඩාත් නවීනතම පහසුකම් සහ යාවත්කාලීන වූ තාක්ෂණයෙන් බලගැන්වීමට කටයුතු යොදා තිබෙනවා.” යනුවෙන් පවසා තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති ඒ මහතා, ඉදිරියටත් සිය සේවාවන් ඉතාමත් හොඳින් ලබා දෙමින්, ගෝලීයව තම සමාගම හිමිකරගෙන ඇති ස්ථානය පවත්වාගෙන යාමට කටයුතු කරන බවත් පවසා තිබේ. විශේෂයෙන්ම අද වනවිට ලෝකයේ අත්වැසුම් නිෂ්පාදකයන් අතර ප්‍රමුඛ පෙළේ සමාගමක් බවට පත්වීමට DPL සමත්ව ඇතැයිද ඒ මහතා මෙහිදී සඳහන් කර තිබේ.

Visits: 132