Uga හෝටල් හිමි Finco සමූහය රේනුකා හෝටලයේ 10% කට වැඩි කොටසක් අත්පත් කරගනී

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත රේනුකා හෝටලයේ (RCH.N0000) තෙවැනි විශාලතම කොටස් හිමිකරුවා වන Finco Holdings (pvt) Ltd සතුව ඇති කොටස් ප්‍රමාණය කොටස් 4,045‍,664ක් දක්වා ඉහල නැග ඇතැයි එම සමාගම පවසයි.

ඊයේ දිනයේදී සිදුකළ ගනුදෙනුවකට අනුව මෙම කොටස් ප්‍රමාණය ඉහළ යාම සිදුව තිබෙන බව රේනුකා හෝටල් සමාගම අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත අනාවරණය කර තිබේ.

ඒ අනුව මෙම කොටස් ප්‍රමාණය රේනුකා හෝටලය මගින් නිකුත් කර ඇති සමස්ත කොටස් ප්‍රමාණය වන කොටස් 40,297,530ක් අතරින් 10.04%ක ප්‍රතිශතයක් ගෙන තිබේ.

පසුගිය සැප්තැම්බර් 02 වැනිදා නිකුත් කෙරුණු 2021/22 මූල්‍ය වර්ෂය සඳහා වන වාර්ෂික වාර්තාවට අනුව Finco Holdings (pvt) Ltd සතුව රේනුකා හෝටලය තුළ තිබූ සමස්ත කොටස් ප්‍රමාණය කොටස් 2,137,904කි. එය 5.31%ක ප්‍රතිශතයක් ලෙස සටහන්ව තිබේ.

ඒ අනුව ඊයේ දිනය වනවිට මෙම කොටස් ප්‍රමාණය කොටස් 1,907,760 කින්, එනම් 4.73%කින් ඉහළ දමා ගැනීමට Finco Holdings (pvt) Ltd සමාගම සමත්ව තිබේ.

මෙරට තුළ ප්‍රමුඛතම පෞද්ගලික සමාගමක් ලෙස සැලකෙන Finco Holdings (pvt) Ltd සමූහය 1963 වසරේදී ස්ථාපිත කෙරුණු පෞද්ගලික සීමිත සමාගමකි.

අද වනවිට Finco (pvt) Limited, Alpha Industries (Pvt) Ltd, Resources Development Consultants (Private) Limited,  Alpha Tours (Private) limited, Genesiis Software (Private) Limited, Finco Technologies (Private) Limited යන සමාගම් මෙන්ම සුප්‍රසිද්ධ හෝටල් සහ ආපනශාලා ජාලයක් වන Uga Escapes (Private) Limited යන සමාගම්ද මෙම Finco Holdings (pvt) Ltd සමූහය යටතේ ක්‍රියාත්මක වෙයි.

Visits: 163