ඔයාමඩුව ‘සුවසිරිපුර‘ ඖෂධ නිෂ්පාදන කර්මාන්තපුරය සඳහා සමාගම් 12ක් ගිවිසුම් ගතවෙයි

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඔයාමඩුව දැයට කිරුළ ප්‍රදර්ශනය පැවැත්වුණු භූමියේ ‘සුවසිරිපුර‘ නමින් ඖෂධ නිෂ්පාදන කර්මාන්තපුරයක් සඳහා වන ආයෝජන සමාගම් සමගින් ගිවිසුම් අත්සන් තැබීම පසුගියදා කොළඹදී සිදුවිය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම අවස්ථෘවේදී ආයෝජන සමාගම් 12ක් සඳහා මෙම ගිවිසුම් ප්‍රදානය කිරීම සිදුවිය.

ඒ අනුව මැලිබන් බයෝවෙන්ර්ස් (පෞද්) සමාගම, ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් (පෞද්) සමාගම, ලක්ෂස් මෙඩිලයින් (පෞද්) සමාගම, ප්‍රීමියම් ඉන්ටර්නැෂනල් බයෝලොජික්ස් (පෞද්) සමාගම, එපිඕන් හෙල්ත් සර්විසස් (පෞද්) සමාගම, නු ලයිෆ් බයෝටෙක් (පෞද්) සමාගම, නියෝලිනා හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම, නිවාරන (පෞද්) සමාගම, බ්ලූ සිලෝන් ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම, මෙඩිටෙක් ලංකා (පෞද්) සමාගම සහ ලීන් ඔසෝ බයෝ – බින්‘ස් (පෞද්) සමාගම එම සමාගම් වෙයි.

වර්තමානයේ පවතින අර්බුදයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව තුළ ඖෂධ නිෂ්පාදනය හැකිතාකි වර්ධනය කිරීමේ අරමුණින් මෙම කර්මාන්තපුරය ස්ථාපිත කිරිම රජයේ සැලසුම වී තිබේ.

ඒ අනුව මේ වනවිට 15%ත් 20%ත් අතර ප්‍රමාණයක පවතින දේශීය ඖෂධ නිෂ්පාදනය 60%ත් 80%ත් අතර ප්‍රමාණයකට රැගෙන ඒම අපේක්ෂාව වී ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන ආකාරයට මෙම ‘සුපසිරිපුර‘ ඖෂධ කර්මාන්තපුරය තුළ ඖෂධ නිෂ්පාදන කර්මාන්ත 23ක් සඳහා අවස්ථාව පවතී. ඒ අනුව තවත් ආයෝජකයන් 11 දෙනෙකු සඳහා එහි ආයෝජන අවස්ථාව ඇති බව සඳහන් වෙයි.

මෙම ඖෂධ කර්මාන්තපුරය හරහා ප්‍රදේශයේ තරුණ තරුණියන් වෙත ඍජු රැකියා අවස්ථා 2000ක් පමණ සහ 5000කට අධික පිරිසක වක්‍ර රැකියා අවස්ථාව නිර්මාණය වනු ඇතැයි අපේක්ෂා වී තිබේ.

මෙම සුවසිරිපුර කර්මාන්තපුරය සඳහා සිදු කරන සමස්ත ආයෝජනය රුපියල් බිලියන 80ක් වන අතර, එය 100%ක්ම දේශිය ආයෝජන වන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ අතර සුවසිරිපුර ඖෂධ කර්මාන්තපුරය ඉදිකිරීමෙන් කිසිදු පරිසර හානියක් ඇති නොවීමට සැලසුම් කර ඇතැයිද එම අමාත්‍යාංශය පවසයි.

මෙහිදී එම කර්මාන්තපුරයේ සංවර්ධන සහ පාලන කටයුතු ඉන්දියාවේ ස්පෙක්ට්‍රම් ෆාමාටෙක් කන්සල්ටන්ස් (පෞද්)සමාගමේ මෙරට අනුබද්ධ සමාගමක් වන ස්පෙක්ට්‍රම් ෆාමාටෙක් ලංකා (පෞද්) සමාගම මගින් සිදු කරයි.

2025 වසර වනවිට මෙම ඖෂධ නිෂ්පාදන අතරින් 40%ක් පමණ දේශීය අවශ්‍යතාව සඳහා  ඖෂධ නිෂ්පාදනයක් සිදු කිරීම අපේක්ෂිත අතර,කර්මාන්තශාලා 23ම ස්ථාපිත කිරීමෙන් අනතුරුව එය 60%ක් දක්වා වර්ධනය සැලසුම වී තිබේ.

එසේම මෙම ඖෂධ නිෂ්පාදන අපනයනය කිරිමටද අපේක්ෂාවක් පවතින අතර, ඒ හරහා වාර්ෂිකව උපයා ගැනීමට සැලසුම් කර ඇති ආදායම ඩොලර් බිලියනයක් පමණ වෙයි.

Visits: 97