සෞදි අරාබිය සුප්‍රසිද්ධ WWE ව්‍යාපාරය මිලදී ගැනීමක?

ලෝකයේ විශාලතම වෘත්තීය මට්ටමේ මල්ලවපොර ක්‍රීඩක සංවිධානය ලෙස සැලකෙන ඇමෙරිකා එක්සත් ජනපදයේ  WWE හි හිමිකාරීත්වය ලබාගැනීමට සෞදි රජය පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි.

සෞදි අරාබියේ මහජන ආයෝජන අරමුදල (Public Investment Fund) හරහා මිලදී ගැනීම සිදු කර තිබේ. මෙහිදී ගනුදෙනුවේ වටිනාකම පිළිබඳව මෙතෙක් අනාවරණයවී නැත.

එසේම මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් මේ දක්වා WWE හෝ සෞදි මහජන ආයෝජන අරමුදල හෝ ස්ථිර නිවේදනයක් නිකුත් කර නොමැති බවත් සඳහන් වෙයි.

මෙලෙස WWE සෞදි අරාබිය වෙත අලෙවි කිරීමේ සැලසුමක් පිළිබඳව පළමුවරට අනාවරණය කෙරුණේ 2022 වසරේ ජූලි මාසයේදීය. එහිදී WWE හි හිමිකරුවා වූ Vince McMahn තමන් මෙම ව්‍යාපාරයේ දරන තනතුරුවලින් ඉවත් වන බව පවසා සිටියේය.

ඉන් අනතුරුව WWE හි සමප්‍රධානී ධුරය සඳහා ඔහුගේ දියණිය වූ Stephanie McMahon පත් වූ අතර, ඊයේ දිනයේදී ඇය මෙතෙක් තමන් දැරූ සියලුම තනතුරුවලින්ද ඉවත් වීම ප්‍රකාශ කර තිබේ. එසේම පසුගිය සතියේදී Vince McMahn යළිත් WWE හි සභාපතිවරයා බවට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන ආකාරයට නිව්යෝර්ක් කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මෙම WWE හි වැඩිම කොටස් හිමිකාරීත්වයක් ඇත්තේද Vince McMahn හටයි. 1999 වසරේදී එය පොදු සමාගමක් බවට පත් කෙරිණි. ඒ අනුව මෙම තීරණයත් සමගින්ම ඉදිරියේදී WWE පෞද්ගලික සමාගමක් බවට පත්වනු ඇතැයි අපේක්ෂාව වී තිබේ.

මෙලෙස WWE සෞදිය වෙත අලෙවි කිරීමේදී WWE හි කොටස්හිමිකරුවන්ට උපරිම වටිනාකමක් හිමිවන ලෙස කටයුතු කරන බවත් Vince McMahn පවසා තිබේ.

සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුන්ගේ සැලසුමට අනුව ඉදිරියේදී සෞදි අරාබිය ලොව ප්‍රධානතම විනෝදාස්වාද මධ්‍යස්ථානයක් බවට පත් කිරීම සැලසුම වී තිබේ.

Visits: 181