ජපානයේ ඔටෝ මොබයිල් ක්ෂේත්‍රයේ රැකියා ඉලක්ක කරගත් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් සඳහා එකඟතාවක්

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ජපානයේ ඔටෝ මොබයිල් ක්ෂේත්‍රයේ  වැඩි රැකියා අවස්ථා ලබාදීම සදහා ඔටෝ මොබයිල් පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමටත්, එහි පුහුණුව ලබන පුහුණුලාභීන්ට සෘජුවම ජපානයේ රැකියා අවස්ථා ලබාදීමටත් ඉහළ පෙලේ ජපන් රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත කණ්ඩායමක් එකගතාවය දක්වා ඇතැයි වාර්තා වෙයි.

පසුගියදා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා හමුවීමට පැමිණි එම පිරිස මේ එකඟතාව දක්වා තිබේ.

මෙහිදී ජපානයේ කැබිනට් කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය FUJIMARU Satoshi, ජනගහන පරිහානිය ජය ගැනීම සහ දේශීය ආර්ථිකය ජීවමාන කිරීම ප්‍රවර්ධනය පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍ය YAMAMOTO Kozo යන මහත්වරුන් ප්‍රමුඛ ජපාන නියෝජිත කණ්ඩායමක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේදී අමාත්‍යවරයා හමුව තිබේ.

ඔටෝ මොබයිල් ක්ෂේත්‍රයේ රැකියා ඉලක්ක කරගත් මෙම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය රාජ්‍ය සහ පුද්ගලික අංශයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට මෙහිදී අවධානය යොමු වී ඇත. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීම සහ සහාය ඒ සදහා ලබාදීමටද මනුෂ නානායක්කාර අමාත්‍යවරයා එකගතාවය පළ කර ඇත.

මෙම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ආරම්භ කිරීමෙන් පසුව, එහි පුහුණුව ලබන සියලු දෙනාටම සෘජුව ජපානයේ රැකියා අවස්ථා විවෘත කරදීමට ඇති හැකියාව පිළිබද ජපාන නියෝජිත කණ්ඩාම පැහැදිළි කර තිබේ.

ඉදිරි වසර කිහිපය තුළදී ජපානයේ රැකියා සදහා විදේශ රටවලින් ශ්‍රමිකයින් ලක්ෂ 65ක් බදවා ගැනීමේ අවශ්‍යතාවය පවතින අතර, එම ශ්‍රම ඉල්ලුම සම්පූර්ණ කිරීම සදහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දායකත්වය ලබාදිය හැකි ආකාරය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස අදහස් හුවමාරු වී ඇත.

ජපානයට ශ්‍රමිකයින් පිටත් කර යවන එස්.එස්. ඩබ්ලිව් වැඩසටහන යටතේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ප්‍රමුඛතාවය ලබාදීමටත්, ඒ සදහා ජපානයෙන් ලැබිය යුතු උපරිම සහාය ලබාදීමටත් මෙම නියෝජිත කණ්ඩායම එකගතාවය දක්වා තිබේ.

මේ වන විට ජපානයේ වැඩිහිටි ජනගහනය ඉහළ මට්ටමක පවතින නිසා විදේශ රටවල ශ්‍රමිකයින්ට පවතින වැඩි රැකියා අවස්ථා සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ අතර ලංකාවේ ශ්‍රමිකයින් වැඩි වශයෙන් බදවා ගැනිමට ජපානය සූදානමින් සිටින බව ජපන් නියෝජිතයෝ පවසා තිබේ.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ආර්.පී.ඒ්. විමලවීර මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීහුද මේ අවස්ථාවට එක්ව සිට ඇත.

Visits: 92