ආයෝජකයන් ආකර්ෂණයට ඩේවිඩ් කැමරන් කොළඹ වරාය නගරයේ සංචාරයක

බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ ඩේවිඩ් කැමරන් මහතා ශ්‍රී ලංකාවේ සිදු කළ පෞද්ගලික සංචාරයක් අතරතුර පසුගියදා කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නැරඹීමට පැමිණ තිබේ.

කැමරන් මහතා කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සාමාජික රෙයාස් මිහිලර්, නීති හා ආයතනික කටයුතු අධ්‍යක්ෂ වින්ධ්‍යා වීරසේකර සහ CHEC Port City Colombo (Pvt) Ltd හි කළමනාකාර අධ්‍යක්ෂයන්ග් ලූයන මහත්ම මහත්මීන් සමඟ මෙම ව්‍යාපෘතියේ රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්වය පිළිබඳව සහ ආර්ථිකය පරිවර්තනය කිරීමේ උත්ප්‍රේරක භූමිකාව පිළිබඳව සාකච්ඡා කළ අතර, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා වීරකෝන් ද මෙම සාකච්ඡාවට එක් විය.

CHEC Port City Colombo (pvt) Ltd හි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ තුල්සි අලුවිහාරේ මහතා හිටපු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා වෙත කරුණු දක්වමින් ප්‍රකාශ කළේ, කොළඹ වරාය නගරය කලාපීය ව්‍යාපාරික ගමනාන්තයක් නිර්මාණය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන බවයි.

එමෙන් ම ආකර්ෂණීය නියාමන යාන්ත්‍රණයක් සමඟින්, කොළඹ වරාය නගරය සිංගප්පූරුව සහ ඩුබායි සඳහා විකල්ප ස්ථානයක් වනු ඇති බවත්, පිරිවැය තරඟකාරීත්වය සහ ආකර්ෂණීය ජීවන තත්ත්වය සමඟින් එය වැඩි ජාත්‍යන්තර ආකර්ෂණයක් දිනා ගනු ඇති බවත් අලුවිහාරේ මහතා තව දුරටත් ප්‍රකාශ කර ඇත.

දකුණු ආසියාවේ ක්‍රියාත්මක වන මෙවැනි ව්‍යාපෘති හා සසඳන විට කොළඹ වරාය නගරයේ ඇති විශේෂත්වය පිළිබඳ විමසූ කැමරන් මහතාට පිළිතුරු ලබා දෙමින් අලුවිහාරේ මහතා ප්‍රකාශ කළේ, කොළඹ වරාය නගරයේ භූගෝලීය වාසියට අමතරව, ආයෝජකයින්ගේ පහසුව ප්‍රවර්ධනය කිරීම සඳහා මූල්‍ය හා මූල්‍ය නොවන දිරිගැන්වීම් සහිත පුළුල් පැකේජයක් ලබා දීම විශේෂත්වයක් බවයි.

ඊට අමතරව කොමිෂන් සභාව ආයෝජන සඳහා පහසුකම් සලසන නම්‍යශීලී නීති හා රෙගුලාසි, සාධාරණ විදේශ විනිමය පාලන තන්ත්‍රයක්, විවෘත ශ්‍රම වෙළඳපොළක් සහ ආකර්ෂණීය ආයෝජන දිරිගැන්වීම් ක්‍රියාත්මක කිරීමේ හැකියාව සහිත ස්වාධීන ආයතනයක් බවත්, කොළඹ වරාය නගරය ශ්‍රී ලංකාවේ ප්‍රථම ප්‍රධාන සැලසුම් කළ නගරය ලෙස හරිත හා බුද්ධිමය ජීවන රටාවක් ප්‍රවර්ධනය කරන ආකර්ෂණීය ජීවන පරිසරයක් නිර්මාණය කරනු ඇති බවත් අලුවිහාරේ මහතාඑහි දී අවධාරණය කළේ ය.

අනාගත ආයෝජකයින් කොළඹ වරාය නගරය වෙත ආකර්ෂණය කිරීම සඳහා සහයෝගය ලබා දීමේ අරමුණින් ව්‍යාපෘති භූමියේ සංචාරය කළ කැමරන් මහතා, 2023 වසරේ දී කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය නැරඹීමට පැමිණි පළමු රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයා ද වේ.

Visits: 113