SLIM Brand Week 2023 ජනවාරි 11 සිට 13 දක්වා වෝටර්ස් එජ්හිදී

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මගින් තෙවැනි වරටත් සංවිධානය කරනු ලබන  SLIM Brand Week 2023 ලබන ජනවාරි 11,12 සහ 13 බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

සන්නාමකරණය සහ අලෙවිකරණය පිළිබඳව දේශීය මෙන්ම ජාත්‍යන්තරවද පිළිගත් සම්පත්දායකයන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම වැඩසටහන මූලිකවම එම ක්ෂේත්‍රයන් පිළිබඳව වෘත්තිකයන්ට සහ ආධුනිකයන්ට දැනුම ලබාදීමේ අරමුණින් පැවැත්වෙන්නකි.

විශේෂයෙන්ම අනාගත අලෙවිකරන වෘත්තිකයන් තවදුරටත් සන්නාමකරණය සහ අලෙවිකරණය පිළිබඳ දැනුමින් සන්නද්ධ කිරීම මෙවර SLIM Brand Week 2023 හි අපේක්ෂාව වී තිබේ.

අසංක පෙරේරා

එසේම මීට පෙර 2018 සහ 2019 වසරවලදී පැවැත්වුණු SLIM Brand Week අවස්ථාවන්ට වඩා මෙවර වැඩසටහන විශේෂත්වයක් ගන්නා බවත්, එහිදී SLIM හි ජාතික සන්නාමකරණ සංකල්පය පෙරදැරිව එය සිදු කෙරෙන බවත් SLIM Brand Week 2023 හි ව්‍යාපෘති ප්‍රධානී ලෙස කටයුතු කරන අසංක පෙරේරා මහතා සඳහන් කරයි.   

“ශ්‍රී ලංකාවේ අලෙවිකරණය පිළිබඳ ආයතනය විදියට මේ සියලුම අලෙවිකරණ වෘත්තිකයන් පිළිබඳ වගකීමක් අපිට තිබෙනවා. එතැනදී ඔවුන් ඇගයීම සඳහා ආයතනය වාර්ෂිකව විවිධ සම්මාන ප්‍රදානය කිරීමේ අවස්ථාවන් සිදුකරනවා. ඒත් මේ  SLIM Brand Week කියන්නේ මූලිකවම සන්නාමකරණය සහ අලෙවිකරණය පිළිබඳව දැනුම ලබා දෙන වැඩසටහනක්. මෙතැනදී සම්මාන පිරිනැමීමක් නෑ. මෙතැනදී වෙන්නේ ක්ෂේත්‍රය පිළිබඳ වන දැනුම, අදහස් සහ දැක්ම වෘත්තිකයන් සහ ආධුනිකයන් අතර බෙදා ගැනීමයි.” ඔහු පවසයි.

වැඩසටහනේ මුල් දින දෙකේදී එනම් ජනවාරි 11 සහ 12 පස්වරු 6.30 සිට රාත්‍රී 9.30 දක්වා දැනට අලෙවිකරණ ක්ෂේත්‍රෙය් නිරත වෘත්තීමය පිරිස් වෙත එම දැනුම ලබාදීම අරමුණ වී තිබේ. තෙවැනි දිනයේ පෙරවරු කාලය සන්නාමකරණය සහ අලෙවිකරණය පිළිබඳව හදාරන සහ අලුතින් නව ව්‍යාපාර ආරම්භ කරන්නන් සඳහා වෙන් වී තිබේ.

මෙවර SLIM Brand Week 2023 සඳහා සම්බන්ධ වන ප්‍රධානතම සම්පත්දායකයන් අතර සෝනම් වැන්ග්චක්, මොමිතා සර්කාර්, රෝරි සදර්ලන්ඩ් සහ කුමාර් සංගක්කාර යන පිරිස් සිටියි.  SLIM Brand Week ඉතිහාසය තුළ විදේශීය සම්පත්දායකයන් සම්බන්ධ කරගන්නා පළමු අවස්ථාවද මෙය වීමද විශේෂත්වයකි.

ඒ අතරින් සෝනම් වැන්ග්චක් විසින් ව්‍යපාරයක සාර්ථකත්වය සඳහා සන්නාමකරණ නවෝත්පාදනයේ ඇති වැදගත්කම සම්බන්ධයෙන් අදහස් පළ කිරිමට නියමිතව තිබේ. වෘත්තියෙන් යාන්ත්‍රික ඉංජිනේරුවරයෙකු වන ඔහු බොලිවුඩයේ ජනප්‍රියතම සිනමාපටයක් වූ ‘3 Idiots’ හි ප්‍රධාන චරිතය සඳහා පාදවූ තැනැත්තා ලෙසද සැලකෙයි.   

මොමිතා සර්කාර් යනු සුප්‍රිද්ධ Delloite සමාගමේ උපදේශකවරියකි. ඇය මෙහිදී දත්ත විද්‍යාව සහ දත්ත විශ්ලේෂණය සමාගමක සන්නාමකරණය සඳහා කෙසේ බලපාන්නේද යන්න  සම්බන්ධයෙන් සිය දැනුම බෙදාදීමට සූදානමින් සිටියි.

Ogilvy දැන්වීම්කරණ ආයතනයේ උප සභාපතිවරයා වන රෝරි සදර්ලන්ඩ්ද මෙම SLIM Brand Week 2023 හි සම්පත්දායකයෙකු ලෙස සම්බන්ධ වෙයි. එහිදී ඔහු සන්නාම අලෙවිකරණයේ පාරිභෝගික හැසිරීම සම්බන්ධයෙන් අදහස් පළ කිරීමට නියමිතව සිටියි.

මේ අතර මෙවර SLIM Brand Week 2023 හි සම්පත්දායකයෙකු ලෙස සම්බන්ධ වන ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර විසින් තම චරිතය සන්නාමයක් බවට පත් කරගැනීමේ කතාව පිළිබඳව අදහස් හුවමාරු කරගැනීමට සූදානමින් සිටියි.

“මිට අමතරව වැඩසටහනේ දෙවැනි දිනයේදී ඉ-වානිජ්‍ය සන්නාමකරණය සම්බන්ධයෙන් Daraz හි අලෙවි ප්‍රධානී රඛිල් ප්‍රනාන්දු වගේම සන්නාමකරණ වියදම් කළමනාකරණය සම්බන්ධයෙන් යුනිලිවර් සමාගමේ අලෙවිකරණ උප සභාපතිවරයා අදහස් දැක්වීමක් සිදු කරනවා.” යනුවෙන්ද අසංක පෙරේරා මහතා සඳහන් කළේය.

මේ අතර තෙවැනි දිනයේ පෙරවරුවේ පැවැත්වෙන අංගය යටතේ දැනට අධ්‍යාපනය හදරාමින් සිටින අලෙවිකරණය පිළිබඳව උනන්දුවක් පවතින පිරිස් වෙත එම දැනුම ලබාදීම සිදු කරයි. එහිදී සාමාන්‍ය පෙළ, උසස් පෙළ හදාරන පාසැල් සිසුන්, කොළඹ, ජයවර්ධනපුර, කැලණිය සහ සබරගමුව විශ්වවිද්‍යාලවල උපාධි අපේක්ෂකයන්, සියලුම සමාගම්වල අලෙවිකරණය පිළිබඳ ආධුනිකයන් ඇතුළු පිරිසට මේ අවස්ථාව හිමි වෙයි.

කෙවින් අල්මේදා

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මෙවර SLIM Brand Week 2023 හි ව්‍යාපෘති උප සභාපතිවරයා ලෙස කටයුතු කරන කෙවින් අල්මේදා මහතා, “මෙතැනදී අපි ඩිජිටල් ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් කතාබහ කෙරෙනවා. ඒ වගේම ඊට සම්බන්ධ වන සම්පත්දායකයන් සන්නාමකරණයේදී ශ්‍රී ලංකාවට මඟහැරුණු කාරණා ඇතුළු දේ පිළිබඳව කතා බහ කෙරෙනවා.” යනුවෙන් පවසා සිටියේය.

මේ අතර මෙවර SLIM Brand Week 2023 සඳහා යොදා ගෙන ඇති වර්ණ රැසකින් සමන්විත ලෝගෝව හරහා මෙම වැඩසටහන කිසිදු සීමාවකින් තොරව ඕනෑම අයෙකුට සම්බන්ධවීමේ අවස්ථාව ලබා දීමක් නිරූපණය වන බවත් කෙවින් අලේමේදා මහතා සඳහන් කරයි.

“SLIM Brand Week 2023 කියන්නේ කිසිම ආකාරයක ගැහැණු – පිරිමි හෝ ඊට අතරමැදි හෝ මොනයම් හෝ ආගමකට, වර්ණයකට, ජාතියකට සීමා වූ දෙයක් නෙමෙයි. මොකද මේ සෑම දෙනාටම විවිධ වූ අදහස් තිබෙනවා. ඒ වගේම මේ වැඩසටහන අලෙවිකරුවන්ටම පමණක් සීමා වූ දෙයක් නොවන බවත් කියන්න ඕනේ.” ඔහු වැඩිදුරටත් පවසයි.

එසේම ඉදිරියේදී මෙම SLIM Brand Week වැඩසටහන තවදුරටත් ජාත්‍යන්තරය වෙත රැගෙන යාම SLIM ආයතනයේ සැලසුම වී තිබේ. ඒ අනුව ඉදිරි වැඩසටහන් සඳහා තවත් විදේශීය සම්පත්දායකයන් කැඳවමින්, මෙම වැඩසටහන වෙත ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමක් ලබාදීම එහි අරමුණයි.

මෙම SLIM Brand Week 2023 පිළිබඳ වැඩිදුර තොරතුරු https://slim.lk/slim-brand-week/ ඔස්සේ ලබා ගත හැකිය.

Visits: 47