හේකාර්බ් වැලියු ඇඩඩ් ප්‍රඩක්ට්ස් සමාගම හේකාර්බ් පීඑල්සී හා ඒකාබද්ධ කෙරේ

මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් සමූහයක් වන හේලීස් සමූහයට අයත් සක්‍රීය කාබන් නිෂ්පාදනය හා සම්බන්ධ හේකාර්බ් පීඑල්සී සමාගමෙහි පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වන සීමාසහිත හේකාර්බ් වැලියු ඇඩඩ් ප්‍රඩක්ට්ස් (පෞද්) සමාගම එම සමාගම හා ඒකාබද්ධ කිරිමට පියවර ගෙන ඇතැයි පවසයි.

පසුගිය වසරේ දෙසැම්බර් 28 වැනිදා මෙම ඒකාබද්ධ කිරිම සිදුවුණු බව හේකාර්බ් පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් ඊයේ දැනුම් දී තිබේ.

2007 අංක 07 දරන සමාගම් පනතේ viii කොටසේ ප්‍රතිපාදනයන්ට අනුකූලව මෙම ඒකාබද්ධ කිරිම සිදුව තිබෙන බව එම සමාගම සඳහන් කර සිටියි.

ඒ අනුව සීමාසහිත හේකාර්බ් වැලියු ඇඩඩ් ප්‍රඩක්ට්ස් (පෞද්) සමාගම මින් ඉදිරියට හේකාර්බ් පීඑල්සී ලෙස හැඳින්වෙනු ඇති බවත් සමාගම වැඩිදුරටත් පවසා සිටියි.

මෙම ඒකාබද්ධ කිරීම සඳහා මූලික හේතුව කුමක්ද යන්න හේකාර්බ් පීඑල්සී සමාගම මෙහිදී සඳහන් කර නැත.

අද වනවිට හේකාර්බ් පීඑල්සී සමාගම එක්සත් ජනපදය, එක්සත්රාජධානිය, ඔස්ට්‍රේලියාව, තායිලන්තය, ඉන්දුනීසියාව ඇතුළුව රටවල් රැසක් වෙත සිය ව්‍යාපාරික මෙහෙයුම් ව්‍යාප්ත කර තිබේ.

Visits: 113