බිම්පුත් ෆිනෑන්ස් පීඑල්සී සුදුසු නව ආයෝජකයෙකු සොයනවාලු

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත බිම්පුත් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (BLI.N0000) සිය ඉදිරි ප්‍රතිව්‍යුහගත කිරිම් සහ ව්‍යාපාරික මෙහෙයුම් පුළුල් කිරිම් සඳහා සුදුසු නව ආයෝජකයෙකු සෙවීමේ නිරතව සිටින බව පවසයි.

එම සමාගම මගින් පසුගිය දෙසැම්බර් 29 වැනිදා ප්‍රසිද්ධියට පත් කළ 2020/21 මූල්‍ය වර්ෂය සඳහා වූ සිය වාර්ෂික වාර්තාව තුල සටහනක් තබමින් එම සමාගම මේ බව සඳහන් කර සිටියි.

2020 වසරේදී එම සමාගම මුලින්ම මෙම ව්‍යාපාරික මෙහෙයුම් පුළුල් කිරිම සඳහා වන හවුල්කාරීත්වය වෙනුවෙන් නව ආයෝජකයෙකු සෙවීමක් ආරම්භකළ අතර, එය අසාර්ථක නොවීය. එහි ප්‍රතිඵලයක් ලෙස සමාගම සිය ව්‍යාපාරික මෙහෙයුම් තවදුරටත් පුළුල් නොකිරීමට තීරණය කළ අතර, දැනට ඇති ණය ආපසු අය කරගැනීම සහ දැනට ඇති ණය ගෙවීම් සිදුකිරීමටත් කටයුතු කළ බව බිම්පුත් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ වැඩබලන සභාපතිවරයා වන සුදත් ජයසුන්දර මහතා මෙහිදී පවසා තිබේ.

ඒ අනුව මෙම සුදුසු නව ආයෝජකයා සොයා හඳනාගැනීම සඳහා වන කටයුතු දැනටමත් ක්‍රියාත්මකව පවතින බව සමාගම මෙහිදී පවසා තිබේ.

එසේම ඊට විකල්පයක් ලෙස බිම්පුත් ෆිනෑන්ස් පීඑල්සී සමාගම ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ක්‍රියාත්මක කරන බැංකු නොවන මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීමේ සැලසුම යටතේ වන සහාය බලාපොරොත්තුවෙන් සිටින බවත් සඳහන් කර තිබේ.

ඒ හරහා තමන්ට සිය මෙහෙයුම් ඒකාබද්ධ කිරීම සඳහා සුදුසු හවුල්කරුවෙකු සම්බන්ධ කරගැනීමේ සැලසුම් ක්‍රියාත්මක කරන බවත් බිම්පුත් ෆිනෑන්ස් පීඑල්සී සමාගම පවසයි.

මෙම වාර්ෂික වාර්තාවට අනුව 2021 මාර්තු 31 වැනිදායින් අවසන් වූ 2020/21 මූල්‍ය වර්ෂයේදී බිම්පුත් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ බදු පෙර අලාභය රුපියල් මිලියන 350ක් ලෙස සටහන්ව තිබේ. එසේම ඒ දිනය වනවිට සමාගමේ සමස්ත වත්කම් ප්‍රමාණය රුපියල් මිලියන 5,981 කි. සමාගම සතු සමස්ත ණයබරතාව රුපියල් මිලියන 5,561 කි. මීට අමතරව සමාගම තුළ ඇති සමස්ත තැන්පතු ප්‍රමාණයේ වටිනාකම රුපියල් මිලියන 1,249.6කි.

Visits: 170