2021 වසරේ නාමික දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකම රුපියල් බිලියන 17,686ක්

පසුගිය 2021 වසරේ නාමික දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකම රුපියල් බිලියන 17,686ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එහි සංඛ්‍යාන දෙපාර්තමේන්තුව මගින් සකස් කළ සටහනක් මගින් මෙම කරුණු අනාවරණය කරයි.

මෙහිදී 2015 පදනම් වර්ෂයට අනුව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් සම්පාදනය කරන ලද දත්ත අනුව මෙම නාමික දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකම සකස් කෙරී තිබේ.

ඒ අනුව 2021 වසරේ නාමික දළ දේශීය නිෂ්පාදිතයෙන් 42.6%ක් නියෝජනය කරමින් ජාතික නිෂ්පාදිතයට ප්‍රමුඛ දායකත්වයක් සැපයීමට බස්නාහිර පළාත සමත්ව තිබේ. මෙය රුපියල් බිලියන 7,541ක වටිනාකමකි. එසේම වයඹ සහ මධ්‍යම පළාත් පිළිවෙලින් 11.1%ත් සහ 10.1%ක් ලෙස දෙවැනි සහ තෙවැනි දායකත්වයක් ලබා දී තිබේ. එය පිළිවෙලින් රුපියල් බිලියන 1,956ක සහ රුපියල් බිලියන 1,787ක වටිනාකම් දක්වයි.

එසේම පසුගිය වසරේ නාමික පළාත් දළ දේශීය නිෂ්පාදිතය වෙත බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලින් දක්වන ලද දායකත්වය 2020 වසරට සාපේක්ෂව ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ.

එසේම දකුණු, උතුරු සහ ඌව පළාත්වල දායකත්වයේ වෙනසක් සිදුව නොමැත. එහෙත් මධ්‍යම,  නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල දායකත්වය 2021 දී සුළු වශයෙන් පහළ ගොස් තිබේ.

මෙහිදී දළ ජාතික නිෂ්පාදිතය ගණනය කිරීමේ මූලික අංශ තුන වන කෘෂිකර්මාන්ත, කර්මාන්ත සහ සේවා යන අංශ තුළ වැඩිම දායකත්වය ලබාදී ඇති පළාත්ද වර්ග කෙරී ඇත.

ඒ අනුව කෘෂිකාර්මික කටයුතු යටතේ වැඩිම දායකත්වයක් ලබා දී ඇත්තේ වයඹ පළාතයි. එය 17.6%ක ප්‍රතිශතයකි. ඉන් අනතුරුව දකුණ සහ මධ්‍යම පළාත් පිළිවෙලින් 14.3%ක සහ 13%ක දායකත්වයක් ලබාදී තිබේ.

එසේම කර්මාන්ත ක්‍රියාකාරකම් යටතේ වැඩිම දායකත්වය බස්නාහිර පළාත ලබා දී තිබේ. එය 48.2%ක ප්‍රතිශතයකි. එහිදී වයඹ සහ මධ්‍යම පළාත් 11.5%කින් සහ 9.5%කින් මේ සඳහා දෙවැනි සහ තෙවැනි වැඩිම දායකත්වය ලබා දී තිබේ.

මීට අමතරව සේවා අංශය යටතේ වැඩිම දායකත්වය 44.7%ක් ලබාදීමට බස්නාහිර පළාත සමත්ව තිබේ. එසේම මධ්‍යම සහ වයඹ පළාත් පිළිවෙලින් 10%ක සහ 9.8%ක දායකත්වයක් ලබාදී තිබේ. එසේම දකුණු පළාත 9.8%ක දායකත්වයක් සේවා අංශය වෙත ලබා දී තිබේ.

Visits: 121