දිනේෂ් ෂාෆ්ටර්ගෙන් හිස් වූ ෆර්ස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් කළමනාකාර අධ්‍යක්ෂ ධුරය CSE සභාපති දිල්ෂාන් වීරසේකරට

ජනශක්ති සමූහයට අයත් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ෆර්ස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී (CFVF.N0000) සමාගමෙහි නව කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ලෙස දිල්ෂාන් විරසේකර මහතා තෝරාපත් කරගත් බව එම සමාගම පවසයි.

පසුගිය දෙසැම්බර් 27 වැනිදා සිට බලාත්මක වන පරිදි මෙම නව පත් කිරීම සිදු කර තිබේ. එම පත් කිරීම සිදුවන අවස්ථාව වනවිටත් දිල්ෂාන් වීරසේකර මහතා එම සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුව සිටියේය.

වසර 27ක කාලයක් පුරා ආයෝජන බැංකුකරුවෙකු ලෙස අත්දැකීම් සහිත වීරසේකර මහතා ෆර්ස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී අධ්‍යක්ෂ මණ්ඩලය හා සම්බන්ධ වී ඇත්තේ 2013 වසරේදීය. ඒ මහතා 2022 වසරේ ජූනි මාසයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි (CSE) හි සභාපතිවරයා ලෙස තේරී පත්විය.

2014 වසරේ සිට ෆර්ස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස කටයුතු කළේ ජනශක්ති සමූහය අයත් ෂාෆ්ටර් පවුලේ දිනේෂ් ෂාෆ්ටර් මහතාය. ඒ මහතා පසුගියදා හදිසියේම අභාවයට පත්වීමෙන් අනතුරුව එම ධුරය හිස් විය.

ඒ අනුව එම පුරප්පාඩු වූ ධුරය සඳහා මෙලෙස දිල්ෂාන් වීරසේකර මහතා පත් කෙරී තිබේ.

මෙම නව පත් කිරීමත් සමගින්ම ෆර්ස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන්නේ නිෂාන් ප්‍රනාන්දු (සභාපති), මංජුලා මැතිව්ස් (උප සභාපතිනිය), දිල්ෂාන් වීරසේකර (කළමනාකර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී), රමේෂ් ෂාෆ්ටර්, මිනෙටා පෙරේරා, චන්දන ද සිල්වා සහ ආචාර්ය නිෂාන් ද මෙල් යන මහත්ම මහත්මින්ය.

Visits: 128