හැරීගේ අඹේවෙල කිරි ගොවිපොළට තෘණ වගාව සඳහා තවත් අක්කර 30ක ඉඩමක්

අඹේවෙල ගොවිපොල සමීපයේ අතහැර දමා ඇති අක්කර 30ක භූමි භාගය වහාම අඹේවෙල ගොවිපොලට ලබා දීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයාට සහ කොමසාරිස්වරියට උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එසේම එම ඉඩම සංවර්ධනය කිරීමට අවශ්‍ය පහසුකම් සපයන ලෙසත්, එය තෘණ වගා භූමියක් ලෙස පවත්වා ගනිමින් කිරි ගවයන්ගේ ආහාර අවශ්‍යතාව සැපයීමේ පද්ධතියට එක්කරන ලෙසත් ජනපතිවරයා මෙහිදී වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබේ.

ඊයේ දිනයේදී මෙම අඹේවෙල ගොවිපොල සමූහයට අයත් යුනයිටඩ් ඩෙයරීස් ලංකා ලිමිටඩ් අඹේවෙල නව ඒකකයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ජනපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත.

මෙම යුනයිටඩ් ඩෙයරීස් ලංකා ලිමිටඩ් සමාගම මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතාට අයත් ලංකා මිල්ක් ෆුඩ්ස් පීඑල්සී (CWE) සමාගමට අයත් පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමකි.

ලංකා ඩෙයරීස් (පෞද්) සමාගම, අඹේවෙල ප්‍රොඩක්ට්ස් (පෞද්) සමාගම, අඹේවෙල ලයිව්ස්ටොක් (පෞද්) සමාගම සහ පට්ටිපොල ලයිව්ස්ටොක් (පෞද්) සමාගම අනෙකුත් පරිපාලිත සමාගම් වෙයි.

යුනයිටඩ් ඩෙයරීස් ලංකා ලිමිටඩ් අඹේවෙල නව ආයතනයේ මේ වන විට කිරි ගවයන් 1000ක් පමණ සිටින අතර දෛනිකව කිරි ලබා ගැනීම සිදු කෙරේ. එසේම දිනකට අවස්ථා 03කදී මෙම ගවයින්ගෙන් කිරි ලබා ගන්නා අතර මෙම ස්ථානය සහ අඹේවෙල සමස්ත පද්ධතියෙන් මෙරට කිරි අවශ්‍යතාවයෙන් දියර කිරි ලීටර් 40,000ක් වෙළෙඳපොළට නිකුත් කෙරේ.

එම කිරි ගවයන් නඩත්තු කිරීම , අවශ්‍ය ආහාර පාන ලබා දීම, බර කිරීම , රෝගී තත්ත්වයන් හඳුනා ගැනීම සහ එවන් හඳුනා ගැනීමකදී ගවයින් වෙන් කිරීම ආදී සියලු කටයුතු ස්වයංක්‍රීය ක්‍රමවේදයකට අනුව යන්ත්‍රානුසාරයෙන් සිදු කෙරේ.

අඹේවෙල ගොවිපොළ පද්ධතියේ ගවයන් 4500ක් මේ වන විට පෝෂණය ලබයි. 2001 වසරේ අඹේවෙල සමූහය ආරම්භ කිරීමට පෙර, මෙය රජය සතුව පවතිද්දී දිනකට සපයා ගෙන ඇත්තේ කිරි ලීටර් 1500 ක් පමණි.

ඒ අනුව අඹේවෙල ගොවිපොළ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ ලබා ඇති ක්‍රමික වර්ධනය අගය කළ ජනාධිපතිවරයා එය අනෙකුත් ගොවිපොළවලට ආදර්ශයක් බව ද පැවසීය. මෙරට විශ්වවිද්‍යාල සිසුන්ගේ පර්යේෂණ කටයුතු සහ අත්දැකීම් සඳහා මෙම ගොවිපොළ විවෘත කර ඊට අවශ්‍ය පසුබිම සකසා දෙන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබේ.

අඹේවෙල ගොවිපොළ කිරි නිෂ්පාදන සහ ගොවිපල තාක්ෂණයේ ඉහළම තාක්ෂණික භාවිතයක් සහිත ලංකාවේ සහ දකුණු ආසියාවේ ප්‍රධානතම මධ්‍යස්ථානය බව අඹේවෙල ගොවිපොල සමූහයේ සාමාන්‍යාධිකාරී සරත් බණ්ඩාර මහතා පවසා ඇත.

අද වන විට කිරි ගවයින් සඳහා වන හොඳම ප්‍රභේද ලංකාවේම නිර්මාණය කිරීමට අඹේවෙල පද්ධතිය පසුගිය වසර 15ක කාලය තුළ සමත්ව ඇත. ඒ අනුව මෙම කිසිඳු කිරි ගවයෙකු විදේශයෙන් ආනයනය නොකරන අතර කිරි ගවයන් බිහි කිරීම සඳහා ලෝකයේ දැනට ඇති අති නවීනතම තාක්ෂණය භාවිතයෙන් දැනට ලෝකයේ සිටින ඉහළම පිරිමි ගවයින්ගේ ශුක්‍රාණු ආනයනය කරමින් ජාන තාක්ෂණය ද භාවිතයෙන් මෙරටට ගැළපෙන ගවයින් බිහි කිරීම ද ආයතනික ක්‍රියාවලියේම කොටසක් බවට පත්කරගෙන තිබේ.

එමෙන්ම කිරි ගවයින්ට අවශ්‍ය ආහාර ලබා දීමේදී වක්‍ර රැකියා දහසක් පමණ මෙම ගොවිපොල ආශ්‍රිතව නිර්මාණය වී ඇත. බඩඉරිඟු ගොවීන්ගේ සම්පූර්ණ අස්වැන්න අඹේවෙල ගොවිපළට ලබා ගැනීමේ යාන්ත්‍රණයක් ද මේ වන විටත් ක්‍රියාත්මකය. ඒ අනුව වසරකට බඩඉරුඟු ගස් මෙට්‍රික් ටොන් 25,000ක් පමණ එකතු කර ගබඩා කිරීමේ පහසුකම් ද අඹේවෙල ගොවිපොළ පද්ධතිය සතුය.

අද වන විට මෙම අඹේවෙල ගොවිපොළ සමූහය මගින් ලක්ස්ප්‍රේ, අඹේවෙල කිරි, අඹේවෙල එළු කිරි, අඹේවෙල යෝගට්, අඹේවෙල යෝගට් පානය, අඹේවෙල චීස්, ඩේලි රසකළ කිරි, ඩේලි ඇක්ටිව්, මයි ජූස් සහ BLU යන නිෂ්පාදන වෙළෙඳ පොළට නිකුත් කරයි. එසේම මේ වසරේ සිට DANO LAIT නමින් සම්පූර්ණ යොදය සහිත කිරි පිටි නිෂ්පාදනයක්ද වෙළෙඳ පොළට නිකුත් කෙරිණි.

Visits: 151