ප්‍රකාශ් ෂාෆ්ටර්ගෙන් හිස් වූ ෆර්සට් කැපිටල් හෝල්ඩිංග්ස් උප සභාපති ධුරය මංජුලා මැතිව්ස්ට

ජනශක්ති සමූහයට අයත් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ෆර්ස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී (CFVF.N0000) සමාගමෙහි නව උප සභාපතිවරයා ලෙස මංජුලා මැතිව්ස් මහත්මිය තෝරාපත් කරගත් බව එම සමාගම පවසයි.

මෙහිදී ඇය ස්වාධීන නොවන විධායක නොවන අධ්‍යක්ෂිකා/උප සභාපතිනිය ලෙස පත් කෙරී තිබේ.

පසුගිය දෙසැම්බර් 27 වැනිදා සිට බලාත්මක වන පරිදි මෙම නව පත් කිරීම සිදු කෙරී ඇතැයි ෆර්ස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි.

මෙම පත් කිරිම සිදු කරන අවස්ථාව වනවිට ඇය සතුව එම සමාගමෙහි කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොමැති බවත් සඳහන් වෙයි.

මේ අතර ඇය මීට පෙර ෆර්ස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි කළමනාකරණ අධ්‍යක්ෂිකාව (2007-2014) ලෙස කටයුතු කර තිබේ. එසේම ඇය සමූහයේ විධායක සභාපතිවරිය (2014-2017) ලෙසද ධුරය දරා තිබේ.

එසේම ඇය අද වනවිට ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂිකාවක මෙන්ම ලැයිස්තුගත සමාගම් වන ෆර්ස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී, ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී, ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී යන සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවකද වෙයි.

ෆර්ස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි උප සභාපතිවරයා ලෙස මෙතෙක් කලක් කටයුතු කළේ ෂාෆ්ටර් පවුලේ ප්‍රකාශ් ෂාෆ්ටර් මහතාය. එහෙත් පසුගිය සැප්තැම්බර් මාසයේදී ඔහු එම ධුරයෙන් ඉවත් විය.

ඒ අනුව පුරප්පාඩු වූ එම ධුරය සඳහා මෙලෙස මංජුලා මැතිව්ස් මහත්මිය පත් කෙරී තිබේ.

මෙම නව පත් කිරීමත් සමගින්ම ෆර්ස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන්නේ නිෂාන් ප්‍රනාන්දු (සභාපති), මංජුලා මැතිව්ස් (උප සභාපතිනිය), දිල්ෂාන් වීරසේකර (කළමනාකර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී), රමේෂ් ෂාෆ්ටර්, මිනෙටා පෙරේරා, චන්දන ද සිල්වා සහ ආචාර්ය නිෂාන් ද මෙල් යන මහත්ම මහත්මින්ය.

Visits: 164