මේ වසරේදී මෙරට සාගරය වැඩි වශයෙන්ම දූෂණය කළ වෙළෙඳ නාම පිළිබඳ අනාවරණයක්

ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරය මෙම වසර තුළදී වැඩිම දූෂණයට ලක් කළ වෙළෙඳ නාම (Brands) පිළිබඳ අනාවරණයක් සිදු කිරීමට The Pearl Protectors නම් රාජ්‍ය නොවන ලාභ නොලබන පරිසර සංවිධානයක් පියවරගෙන තිබේ.

එම සංවිධානය මගින් සකස් කරන ලද නවතම සමුද්‍රීය අපද්‍රව්‍ය වෙළෙඳ නාම විගණනය (Marine Waste Brand Audit 2022-2023) වාර්තාව මගින් මෙම කරුණු අනාවරණය කර තිබේ.

මෙහිදී එම සංවිදානය මගින් ශ්‍රී ලංකාවේ තෝරාගත් වෙරළ ස්ථාන 16ක් සම්බන්ධයෙන් මෙම සමීක්ෂණය සිදු කර තිබේ. ඒ අනුව ඉන් අනාවරණය වී ඇති ආකාරයට මෙරට ප්‍රධාන පෙළේ වෙළෙඳ නාම මෙලෙස සාගරික දූෂණය සඳහා වැඩි ප්‍රතිශතයකින් දායක වී තිබෙන බව හඳුනාගෙන තිබේ.

මෙම සමීක්ෂණය සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ 31 දෙනෙකුගෙන් යුත් Pearl Protectors කණ්ඩායමක් සම්බන්ධවී තිබෙන අතර, සතියක පමණ කාලයක් ඇතුළතදී මෙම ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාත, දකුණූ පළාත සහ නැගෙනහිර පළාතේ වෙරළ ස්ථාන තුළ ක්ෂේත්‍ර සමීක්ෂණ සිදු කරමින් මෙම දත්ත රැස් කරගෙන තිබේ.

මේ අතරින් බස්නාහිර පළාත තුළදී පමණක් ස්ථාන 13ක් සම්බන්ධයෙන් සමීක්ෂණ සිදු කර ඇත. බෝපිටිය, කාකදූපත, මෝදර, ගාලුමුවදර, වැල්ලවත්ත, දෙහිවල,ගල්කිස්ස, රත්මලාන, මොරටුව, එගොඩ උයන, පානදුර සහ කළුතර එම වෙරළ ස්ථාන වෙයි.

මෙම සමීක්ෂණයේදී අදාළ වෙරළ ස්ථාන 16දී තනි තනි අපද්‍රව්‍ය අයිතම 8057ක් හමුවූ බව මෙම The Pearl Protectors සංවිධානය පවසයි. මෙහිදී අනාවරණය වී ඇති ආකාරයට නිෂ්පාදන සමාගම් 88ක් සහ නිෂ්පාදන නාම 188ක් මෙලෙස සමුද්‍රීය අපද්‍රව්‍ය සඳහා හේතු වී තිබෙන බව හඳුනාගෙන ඇත.

මෙම නිෂ්පාදන නාම වෙළෙඳ නාම, වෙළෙඳනාමයක් නොවන සහ යම් දේශසීමාවක් හරහා බලපෑමක් සිදු කරන ලෙස වර්ග කෙරී ඇත. මේ අතරින් වෙළෙඳනාමයක් සහිත අපද්‍රව්‍ය 85%ක් මේ සඳහා දායක වී තිබේ. වෙළෙඳ නාමයක් නොමැති අපද්‍රව්‍යවල දායකත්වය 13%කි.

ඒ අනුව සමාගම් ලෙස ගත් විට මේ අතරින් යුනිලීවර් සමාගම 14%ක්, කොකාකෝලා සමාගම 10%ක්, සිලෝන් බිස්කට් ලිමිටඩ් (මන්චී) සමාගම 9%ක්, නෙස්ලේ සමාගම 7%, කාර්ගිල්ස් සිලෝන් සමාගම 7%ත්, මැලිබන් බිස්කට්ස් මැනියුෆැක්චර්ස් ලිමිටඩ් සමාගම 6%ක්, පර්ෆෙටි වැන් මෙලේ සමාගම 6%ක්, සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් සමාගම 5%ක්, හේමාස් හෝල්ඩිංග්ස් සමාගම 4%ක්, ප්‍රීමා සිලෝන් සමාගම 4%ක්, ෆොන්ටෙරා කෝපරේටිව් ගෘප් සමාගම 3%ක්, පෙප්සිකෝ සමාගම 3ක්, ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම 2%ක් සහ මිල්කෝ ප්‍රයිවට් ලිමිටඩ් සමාගම 2%ක් ලෙස මෙලෙස සාගරය දූෂණයට ලක් කරන අපද්‍රව්‍ය සඳහා වගකිව යුතු බව හඳනාගෙන තිබේ.

ඒ අනුව මෙම සමීක්ෂණයේ දත්ත පෙන්නුම් කර දෙන ආකාරයට ශ්‍රී ලංකාවේ වෙරළ තීරය තුළ ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය නිසා සිදුවන දූෂණය වැළැක්වීම සඳහා මෙම පරිසර දූෂකයන්/වෙළෙඳ නාම ප්‍රමාණවත් විසඳුමක් ලබාදිය යුතු බව අවධාරණය කරන බවත් The Pearl Protectors සංවිධානය සඳහන් කරයි.

2018 වසරේදී ස්වේච්ඡාමය ක්‍රමය පදනම්ව සහ ලාභ නොලබන සමුද්‍රීය සංරක්ෂණ සංවිධානයක් ලෙස මෙරටදී පිහිටුවුණු මෙම The Pearl Protectors සංවිධානය මගින් සමුද්‍රීය පරිසරය ආරක්ෂා කරගැනීම සඳහා වන ක්‍රියාකාරකම්හි යෙදෙයි. එහිදී ප්ලාස්ටික් දූෂණය අවම කිරීම සහ තරුණ දායකත්වය හරහා තිරසාර භාවිතයන් ප්‍රචලිත කිරීම යනාදිය මෙන්ම දැනුවත් කිරීම මෙන්ම උපදෙස් ලබාදීමද සිදු කරයි.

The Pearl Protectors සකස් කළ මෙම වාර්තාව වෙත https://www.pearlprotectors.org/publications යන වෙබ් ලිපිනය හරහා පිවිසිය හැකිය.

Visits: 170