“Twitter CEO සඳහා සුදුසු මෝඩයෙකු හමුවූ ගමන් මම ඉවත් වෙනවා” – මස්ක්

ලොව ජනප්‍රියතම කෙටි පණිවුඩ හුවමාරු සේවාව වන Twitter සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ධුරය සඳහා සුදුසු මෝඩයෙකු හමුවූ විගස තමන් එම ධුරයෙන් ඉවත් වන බව එහි වර්තමාන ප්‍රධාන විධායක නිලධාරී සහ හිමිකරුවා වන එලෝන් මස්ක් පවසයි.

අද පෙරවරුවේදී සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පවසා තිබේ. පසුගිය දෙසැම්බර් 19 වැනිදා ඔහු Twitter සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ධුරයෙන් තමන් ඉවත් විය යුතුද නැද්ද යන්න විමසමින් සිය Twitter අනුගාමිකයන් වෙත ඡන්දයක් ඉදිරිපත් කළේය.

එහි ප්‍රතිඵලවලට අනුව මේ සඳහා මිලියන 17,502,391ක් ඡන්දය ලබා දී තිබූ අතර, ඉන් 57.5%ක් ඔහු ධුරයෙන් ඉවත් විය යුතු බව පවසා තිබුණි. එසේම 42.5%ක් ධුරයෙන් ඉවත් නොවිය යුතු බව පවසා තිබුණි.

ඔහු මුලින් සඳහන් කළ ආකාරයට මෙම ඡන්දයේ ප්‍රතිඵලවලට අනුව වැඩි කැමැත්තට ඉඩ දී තමන් Twitter හි ප්‍රධාන විධායක නිලධාරී ධුරයෙන් ඉවත් වන බව ඔහු පවසා තිබුණි.

ඒ අනුව මෙම ප්‍රතිඵලයට අනුව ඔහු ඉවත්විය යුතු බවට සමාජ මාධ්‍ය ජාල තුළ මේ වනවිට කතාබහක් මතුවෙමින් තිබේ.

ඊට පිළිතුරු ලෙස මස්ක් අද පෙරවරුවේදී මෙලෙස සිය Twitter ගිණුම හරහා මේ බව පවසා තිබේ.

“සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත් කිරීමට තරම් මෝඩයෙකු හමු වූ විට මම මේ ධුරයෙන් ඉවත් වෙනවා. ඊට පස්සේ මම මෘදුකාංග සහ ජාල සේවා පද්ධති කණ්ඩායමේ වැඩ බලනවා.” යනුවෙන් මස්ක් පවසා ඇත.

මස්ක් Twitter සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ධුරයට පත්වීමෙන් අනතුරුව ගත් ඇතැම් තීරණ හේතුවෙන් එම සමාගම සම්බන්ධයෙන් වන ජනතා ප්‍රතිරූපය බිඳ වැටීමකට ලක්ව ඇතැයි චෝදනා පවතී.

එසේම මේ වනවිට එම සමාගමේ කොටස් වටිනාකමද පහත වැටී ඇති අතර, ඒ හේතුවෙන් මස්ක්ට මෙතෙක් රැක ගෙන ආ ලොව ධනවතාට හිමි කිරුළද පසුගිය සතියේදී අහිමි විය.

ඒ අනුව Twitter යළිත් යථා තත්ත්වට පත්කිරිමට නම් මස්ක් එහි ප්‍රධාන විධායක නිලධාරී ධුරයෙන් ඉවත්වියයුතුය යන්න බහුතරයගේ අදහස වී තිබේ.

Visits: 138