SG Holdings සමාගම EXPO හි රු.බිලියන 4.8ක් වටිනා තවත් කොටස් මි. 23ක් මිලදී ගනී

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස්හි (EXPO.N0000) තවත් කොටස් මිලියන 23ක් (23,080,500ක්) මිලදී ගැනීමට එහි විශාලතම කොටස් හිමිකරුවා වන SG Holdings Global Pte Ltd සමාගම පසුගියදා පියවර ගෙන ඇතැයි පවසයි.

එම සමාගම් දෙකෙහිම අධ්‍යක්ෂවරයෙකු වන හා යෝ මහතා විසින් මෙම කොටස් මිලදී ගැනීම සිදු කර තිබේ.

මෙහිදී පසුගිය දෙසැම්බර් 14 වැනිදා සිට 20 වැනිදා දක්වා කාලය තුළදී මෙම කොටස් මිලදී ගැනීම සිදුව ඇතැයි එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම ඊයේ දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත දැනුම් දී තිබේ.

මෙම ගනුදෙනුවේදී එක්ස්පෝ ලංකා එක් කොටසක් රුපියල් 207ත් 210ත් අතර මුදලකට අලෙවි වී තිබේ.

ඒ අනුව සාමාන්‍යයක් ලෙස මෙම සමස්ත කොටස් ගනුදෙනුවේ වටිනාකම රුපියල් බිලියන 4.8ක් (4,800,744,000ක්) ලෙස සටහන්ව තිබේ.

SG Holdings Global Pte Ltd සමාගම ආසන්න කාලසීමාවේදී එක්ස්පෝ ලංකාහි කොටස් මිලදී ගැනීමක් සිදු කරමින් සිටින අතර, එහිදී හා යෝ මහතා හරහා එම කොටස් මිලදී ගැනීම සිදු කරයි. එහි ආසන්නතම මිලදී ගැනීම ලෙස මෙම දෙසැම්බර් මාසය මුලදීද කොටස් මිලියන 16ක් මිලදී ගැනීමට එම සමාගම කටයුතු යෙදීය.

Visits: 240