නේෂන් ලංකා ෆිනෑන්ස් සහ කැන්රිච් ෆිනෑන්ස් ඒකාබද්ධයට අනුමැතිය

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සමාගම සහ බලපත්‍රලාභී මූල්‍ය සමාගමක්වන කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගම ඒකාබද්ධ කිරීම සඳහා වන අනුමැතිය හිමිව ඇතැයි නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සමාගම පවසයි.

ඊයේ දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් එම සමාගම මේ බව සඳහන් කර සිටියි.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවෙහි මුදල් මණ්ඩලය විසින් මෙම අනුමැතිය ලබාදීත තිබේ. මහ බැංකුවෙහි බැංකු නොවන මූල්‍ය ආයතන සුපරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කර ඇති මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීමේ වැඩසටහන යටතේ මෙම ඒකාබද්ධ කිරීම සිදු වනු ඇතැයි නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සමාගම පවසයි.

එසේම මෙම ඒකාබද්ධ වීමෙන් අනතුරුව ඉතිරි වන සමාගම නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී ලෙස හැඳින්වෙනු ඇති බවත් සඳහන් වෙයි.

1971 වසරේදී පිහිටවුණු කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගම 2010 වසරේදී යළිත් දියත් කිරීමක් සිදු විය. එතැන් සිට වසර හයක කාලයක් ඇතුළතදී සමාගම සිය වත්කම් ප්‍රමාණය රුපියල් මිලියන 600 සිට රුපියල් බිලියන 12 දක්වා වර්ධනය කරගැනීමට සමත්ව ඇතැයිද පවසයි.

එසේම අද වනවිට එක් ශාඛාවක සිට ශාකා 36ක් දක්වා ව්‍යාප්ත වෙමින් සේවකයන් 1,000ක් දක්වා වර්ධනය කරගැනීමට හැකිව ඇත. කොළඹ 07, වෝර්ඩ් පෙදෙසේ අංක 69 දරන ස්ථානයෙහි මෙම කැන්රිච් ෆිනෑන්ස් ලිමටඩ් සමාගමේ ප්‍රධාන කාර්යාලය පිහිටා තිබේ.

මෙම ඒකාබද්ධවීම සඳහා ලැබිය යුතු ඇති අනෙකුත් අනුමැතීන් ලැබිමත් සමගින්ම 2023 මාර්තු 31 වැනිදාට පෙරාතුව මෙම සමාගම් දෙක ඒකාබද්ධ වීමක් සිදුවනු ඇතැයිද නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සමාගම පවසයි.

එම සමාගම පසුගිය දෙසැම්බර් 01 වැනිදා පළමුවරට මෙවැනි ඒකාබද්ධවීමක් සම්බන්ධයෙන් අනාවරණය කළ අතර, එහිදී ඒකාබද්ධ වන සමාගම කවරක්ද යන්න සඳහන් කර නොතිබුණි

මේ අතර කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගම 2020 නොවැම්බර් මාසයේදී සිය මූලික ප්‍රාග්ධන අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමේ අරමුණින් රුපියල් බිලියන 2ක් වටිනා පෞද්ගලික හිමිකම් නිකුතුවක් සඳහා සූදානමින්ද පසුවිය..

Visits: 123