EDB ලාංකික අපනයනකරුවන්ට යුරෝපීය වෙළඳපල ප්‍රවේශය පුළුල් කරයි

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), ජර්මානු ආනයන ප්‍රවර්ධන කවුළුව (IPD) හා එක්ව  යුරෝපා වෙළඳපලට අපනයනකරුවන් හඳුන්වා දෙන සාර්ථක වැඩසටහනක් පසුගියදා නිමා කරන ලදි. මේ යටතේ යුරෝපා සංගමයේ (EU) වෙළඳපල වෙත සෘජු අපනයනකරුවන් ලෙස කටයුතු කිරීමට වැඩසටහනට සහභාගීවූ අපනයනකරුවන්ට අවස්තාව හිමිවිය.

2018 වසරේ සිට අපනයන සංවර්ධන මණ්ඩලයවිසින්, ජර්මානු ආනයන ප්‍රවර්ධන කවුළුවේ (IPD)  සහයෝගය ඇතිව ශ්‍රී ලංකාවේ ස්වභාවික අමුද්‍රව්‍ය අංශයට සම්බන්ධ ව්‍යවසායන් සඳහා යුරෝපා සංගමයේ (EU) වෙළඳපල ප්‍රවේශය විවෘත කිරීම උදෙසා පුළුල් පරාසයක ක්‍රියාකාරකම් සිදු කරන ලදී.

සිව් වසරක වැඩසටහන තුළ තෝරාගත් ව්‍යවසායන් සඳහාධාරිතා සංවර්ධනය, වෙළඳපල තොරතුරු,ආනයන රෙගුලාසි ,නිෂ්පාදන ප්‍රමිතිය හා ආයතනික සමාජ වගකීම් ඇතුළු අනෙකුත් අනුකූලතාවය පිළිබද අවබෝධය,ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනවලට එලදායී ලෙස සහභාගීත්වය වැනි ක්ෂේත්‍ර සඳහා ඉඩකඩ විවර කරන ලදි. මෙම ආධාර යෝජනා ක්‍රමය යටතේ BIOFACH, SIAL, Food Ingredients Europe, සහ ANUGA වැනි ප්‍රමුඛතම ආහාරපාන ප්‍රදර්ශන සඳහා සහභාගී වීමේ අවස්ථාව ද ප්‍රතිලාභීන්ට හිමි විය.

මෙම වැඩසටහන සඳහා සහභාගී වූ ව්‍යවසායන් වූයේ: Woga Naturals Pvt Ltd, Waguruwela Oil Mills Pvt Ltd, Lihini Nature Products Pvt Ltd, Pasanka Pvt Ltd, Asian Agro Products Pvt Ltd, Manchiee De Coco Pvt Ltd යන ආයතනයන්ය.

තෝරාගත් ආයතන පොල් ආශ්‍රිත නිෂ්පාදන, කුළුබඩු, විජලනය කළ පලතුරු, ටින් කළ කොස්, ඖෂධ පැළෑටි, ඹෂධීය තේ සඳහා අමුද්‍රව්‍ය වැනි කෘෂිකාර්මික නිෂ්පාදන පෙළක් අපනයනය කරයි. ප්‍රතිලාභී අපනයනකරුවන් දකුණ, මධ්‍යම සහ වයඹ ඇතුළු රටේ සියලුම ප්‍රදේශ නියෝජනය කරයි.යුරෝපා සංගමයේ වෙළඳපල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබීමට ISO, ORGANIC, HACCP වැනි සහතික කිරීමේ පූර්ව අවශ්‍යතා සහභාගිවන්නන් සතු විය යුතු අතර මෙම අපනයන කරුවන් අදාල සහතික සම්පූර්ණ කරන ලදි.

වැඩසටහන සාර්ථකව නිමකළ සමාගම් වෙත සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය දෙසැම්බර් 9 වන දින අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ඩී ද මෙල් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහිදීයුරෝපා සංගම් වෙළඳපොළ ප්‍රවේශ අවශ්‍යතා පිළිබඳ පුහුණුව ලැබූ අපනයන සංවර්ධන මණ්ඩලයේනිලධාරීන් හත් දෙනෙකු (7) සඳහා ද සහතික ප්‍රදානය කරන ලදි.

මෙහිදී අදහස් දැක්වූ අපනයන සංවර්ධන මණ්ඩලයේවැඩබලන අධ්‍යක්ෂ ජනරාල් මාලනී බද්දේගමගේ මහත්මිය සඳහන් කලේ 2018 වසරේ සිට අපනයන සංවර්ධන මණ්ඩලය ජර්මානු ආනයන ප්‍රවර්ධන කවුළුව(IPD)හා එක්ව විශාල වැඩ කොටසක් සිදුකර ඇති බවත් එහි ප්‍ර‍තිඑල මෙම අපනයනකරුවන්ගේ සාර්තකත්වය තුලින් පෙනී යන බවත්ය.එසේම නව අපනයනකරුවකු බිහිකිරීම සඳහා යම් කාලයක් ගතවන බවත් ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා ගැනීමට තෝරාගත් අපනයනකරුවන්ගේ කැපවීම ඉතා වැදගත් වන බව ද සඳහන් කරන ලදි.

“යුරෝපා සංගමයේවෙළෙඳපොළට ඇතුළුවීමේ අවශ්‍යතා පිළිබඳ අපනයන සංවර්ධන මණ්ඩලනිලධාරීන් පුහුණු කිරීමෙන් දැනුම හුවමාරු වේදිකාවක් නිර්මාණය කිරීමට ලැබීම ගැන අපි අතිශයින් සතුටු වන අතර පුහුණුව ලැබූ නිලධාරීන් ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ගේ ප්‍රජාව සමඟ දැනුම බෙදා ගනු ඇතැයි බලාපොරොත්තු වෙමු” යි,– IPD Hub Sri Lanka හි කලාපී විශේෂඥ Linda Menze පවසා සිටියාය.

ජර්මානු ආනයන ප්‍රවර්ධන කවුළුව, ජර්මනියේ සහ යුරෝපයේ ආනයනකරුවන්, සංචාරක ක්‍රියාකරුවන් හා තෝරාගත් හවුල්කාර රටවල සමාගම් අතර දිගුකාලීන වෙළඳ සබඳතා ප්‍රවර්ධනය කරන අතර යුරෝපීය වෙළඳපලවල ඉල්ලුම පිළිබඳ සෘජු දැනුවත් කිරීම් සහ වෙළඳ ප්‍රවර්ධනය සඳහා තිරසාර ව්‍යුහයන් ශක්තිමත් කිරීමට සහය ලබා දෙයි.

මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති හා ප්‍රධාන විධායක සුරේෂ් ඩී ද මෙල් මහතා, වැඩබලනඅධ්‍යක්ෂ ජනරාල් මාලනී බද්දේගමගේ මහත්මිය, IPD Hub Sri Lanka හි කලාපී විශේෂඥ Linda Menze,ජර්මානු ආනයන ප්‍රවර්ධන කවුළුවේ(IPD) Expert Sourcing and Purchasing නිලධාරී – Angie Martinez, Asian Agro Products (Pvt) Ltd ආයතනයේ සැලසුම් සහ සහතික කළමනාකරු Jacob Fernando, සහභාගී වූ අපනයන සමාගම්, අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

Visits: 81