CCTV, ශක්තිජනක පාන, ක්‍රීඩා උපකරණ සහ MDF බෝඩ් ඇතුළු භාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ඉවතට

සංචාරක, ආරක්ෂක සහ ක්‍රීඩා ක්ෂේත්‍රයට අදාළ තවත් භාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා සිටියි. අමාත්‍යවරයා සඳහන් කරන ආකාරයට සංචාරක කර්මාන්තය සඳහා අවශ්‍ය ශක්තිජනක පාන, ආවේෂන කැමරා පද්ධති (CCTV) සඳහා අවශ්‍ය උපකරණ, ගෘහ භාණ්ඩ නිෂ්පාදනය සඳහා අවශ්‍ය තුනී ලෑලි (MDF) සහ ක්‍රීඩා උපකරණ මෙලෙස ආනයන ලිහිල් කළ භාණ්ඩ අතරට අයත් වෙයි.

මෙය ආනයන සීමා ලිහිල් කළ තුන් වැනි අවස්ථාව බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

මෙහිදී වාණිජ මණ්ඩලය, කර්මාන්ත අංශයේ ව්‍යවසායකයන්, ආයෝජන මණ්ඩලය ඇතුළු පාර්ශ්වවල ඉල්ලීම් මත භාණ්ඩ ආනයනය සීමා කළ දා සිට මේ දක්වා කාලය තුළ අවස්ථා තුනක දී මෙලෙස සීමා ලිහිල් කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව සැප්තැම්බර් 9 දින භාණ්ඩ 708ක, නොවැම්බර් මස 23 දින භාණ්ඩ 77ක සහ දෙසැම්බර් මස 19 දින භාණ්ඩ වර්ග 10ක සීමා ඉවත් කෙරිණි. 

මෙහිදී අදහස් දක්වා ඇති අමාත්‍යවරයා, “රට මුහුණ දී ඇති විනිමය ගැටලුවට විසඳුම් ලෙස ආනයන වියදම් සීමා කිරීමට රජය පියවර ගත්තා. 2020 වසරේ දී ආනයන වියදම දැක්වුණේ ඩොලර් මිලියන 16,055ක් ලෙසයි. එය 2021 වසරේ දී එය ඩොලර් මිලියන 20,637ක් ලෙස දැක් වුණා.” යනුවෙන් පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති අමාත්‍යවරයා, 2022 අගෝස්තු 23 වැනි දා භාණ්ඩ 1,465ක ආනයනය සීමා කිරීමට රජය තීරණය කළා. ඒ අනුව ආනයන සීමා පැනවූ දා සිට නොවැම්බර් මස 23 දා දක්වා ගත වූ මාස තුනක කාලය තුළ ඉතිරි කර ගත හැකිව තිබෙන ඩොලර් ප්‍රමාණය මිලියන 1,211ක්.” යනුවෙන්ද පවසා තිබේ.

මෙලෙස ආනයන සීමා ලිහිල් කරන භාණ්ඩ ආනයනය පිළිබඳව විධිමත් පසු විපරමක් සිදු කරන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා ඇත.

Visits: 87