සෞදියේ අජ්ලාන් සමූහය කොළඹ වරාය නගරයේ ඩොලර් බිලියන 1.3ක ආයෝජන එකඟතාවකට

මැදපෙරදිග කලාපයේ පිහිටි විශාලතම සමාගම් සමූහයක් ලෙස සැලකෙන සෞදි අරාබියේ අජ්ලාන් ඇන්ඩ් බ්‍රදර්ස් හෝල්ඩිංග්ස් සමූහය (අජ්ලාන් සමූහය) කොළඹ වරාය නගරය තුළ සිදුකරන සංවර්ධන ව්‍යාපෘති රැසක් වෙනුවෙන් ඩොලර් බිලියන 1.3ක ආයෝජනයක් සඳහා එකඟතාව පළ කිරිම පසුගියදා සිදුවිය.

කොළඹ වරාය නගරයෙහි පරිපාලන කටයුතු හිමි චයිනා හාබර් ඉන්ජිනියරිං කෝපරේෂන් සමාගම යටතේ පවතින CHEC Port City Colombo Limited සමාගම සමගින් පසුගිය දෙසැම්බර් 08 වැනිදා සෞදි අරාබියේ රියාද් නුවරදී මෙම එකඟතාවට අත්සන් තැබීම සිදුව තිබේ.

කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සහ CHEC Port City Colombo Limited සමාගම එක්ව ඊයේ නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වෙයි.

ඇති කරගත් මෙම උපාය මාර්ගික හවුල්කාරීත්වය යටතේ කොළඹ වරාය නගරයෙහි සංවර්ධන කටයුතු මෙන්ම මූලික නියමු සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් මෙම ඩොලර් බිලියන 1.3ක ආයෝජනය සිදු කෙරෙන බව සඳහන් වෙයි.

ඒ අනුව කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයේ අදියර 1, මරිනා වෝටර්ෆ්‍රන්ට් කොමර්ෂල් ලෙස වාණිජ වැදගත්කමින් යුත් ඉදිකිරීම මෙන්ම මරීනා හෝටලය, සුපිරි අධිසුඛෝපභෝගී විලා කිහිපයක් සහ ගොල්ෆ් ක්‍රීඩාංගණයක් යනාදිය වෙනුවෙන් ඉදිරි වසර කිහිපයේදී මෙම ආයෝජනය සිදු කෙරෙන බව පැවසෙයි.

ඒ අනුව මෙය කොළඹ වරාය විශේෂිත ආර්ථික කලාපය තුළ සැවොම බලාපොරොත්තුව සිටි සුවිශේෂී තිරස් සංවර්ධන සහ ව්‍යාපාරික ක්‍රියාකාරකම්හි ආරම්භයක් ලෙසින්ද සැලකෙන බව කොළඹ වරාය නගර සමාගම සඳහන් කරයි.

මෙලෙස ගිවිසුම් ගත වූ සෞදි අරාබියේ අජලාන් සමූහය අද වනවිට ලොව පුරා රටවල් 25ක බලශක්ති, පරිසරය, කාර්මික නිෂ්පාදනය, සෞඛ්‍යසේවා, සංචාරක,තාක්ෂණික, සිල්ලර, දේපළ වෙළෙඳාම්,ඇගලුම් සහ රෙදිපිළි, පතල්, ජල, වේගයෙන් අලෙවිවන පාරිභෝගික භාණ්ඩ (FMCG), ලොජිස්ටික්, මූල්‍ය හා ෆින්ටෙක් සහ විනෝදාස්වාද සහ ක්‍රීඩා යනාදී ලෙස සමාගම් 75ක මෙහෙයුම් සිදු කරයි.

එසේම අද වනවිට අජ්ලාන් සමූහය සෞදි අරාබිය තුළ ප්‍රමුකත ඇගලුම් නිෂ්පාදකයෙකු සහ අලෙවිකාර සමාගමක් ලෙසද හඳනාගෙන තිබේ. එසේම එරට විශාලතම දේපළ වෙළෙඳාම් සංවර්ධන සමාගමක් ලෙසද එම සමාගම හැඳින්වෙයි.

Visits: 164