LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සහ LOLC ෆිනෑන්ස් ඒකාබද්ධවීම 2023 ජනවාරි 31

LOLC සමූහයට අයත් LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී (NIFL.N0000) සහ LOLC ෆිනෑන්ස් පීඑල්සී (LOFC.N0000) යන සමාගම් ඒකාබද්ධවීම ලබන 2023 ජනවාරි 31 වැනිදා සිදු වනු ඇතැයි එම සමාගම් සඳහන් කර සිටියි.

මෙම සමාගම් දෙක මගින්ම අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපි මගින් මේ පිළිබඳව දැනුම් දී තිබේ. මෙම ඒකාබද්ධ කිරීම සඳහා වන ශ්‍රී ලංකා මහ බැංකුවෙහි මුදල් මණ්ඩල අනුමැතිය හිමි වූයේ පසුගිය අගෝස්තු 24 වැනිදාය.  

ඒ අනුව මෙලෙස LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී සහ LOLC ෆිනෑන්ස් පීඑල්සී යන සමාගම් දෙකෙහි ඒකාබද්ධවීමෙන් අනතුරුව ඉදිරියට මෙහෙයුම් පවත්වාගෙන යන සමාගම බවට LOLC ෆිනෑන්ස් පීඑල්සී පත්වනු ඇතැයිද එම සමාගම් මෙහිදී සඳහන් කර තිබේ.

මේ අතර මෙම ඒකාබද්ධවිමෙන් අනතුරුව මෙම සමාගම් දෙකෙහි කොටස් හිමිකාරීත්වය හුවමාරුවීමේ අනුපාතය එම සමාගම් දෙකෙහි වෙළෙඳ පොළ මිල ගණන් අනුව තීරණය වනු ඇති බවත්, එම වෙළෙඳ පොළ මිල ගණන් අවසන් ගනුදෙනු දිනයේ සිට දින පහක කාලයකට පසුව වනු ඇති බවත් සඳහන් වෙයි.

මෙහිදී 2022 සැප්තැම්බර් 30 වැනිදා වන විට එම සමාගම් දෙකෙහි ප්‍රකාශිත ප්‍රාග්ධනය ඇතුළුව වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය සහ කොටස් හිමිකාරීත්වය සම්බන්ධයෙන් වන තොරතුරුද අනාවරණය කෙරී තිබේ.

ඒ අනුව එම දිනය වනවිට LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගමෙහි ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් 3,069,461,724.25කි. එසේම සමාගමේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් 288,779,854කි.  එසේම සමාගම තුළ ඇති මහජන කොටස් හිමිකාරීත්වය 562කි. එය සමස්ත කොටස් හිමිකාරීත්වයෙන් 18%කි.

එම දිනය  වන විට LOLC ෆිනෑන්ස් පීඑල්සීහි ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් 211,581,448,000කි. එසේම සමාගමේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් 8,988,218,759.10කි. සමාගම තුළ ඇති මහජන කොටස් හිමිකාරීත්වය 19,784ක් වන අතර, එය සමස්ත කොටස් හිමිකාරීත්වයෙන් ප්‍රතිශතයක් ලෙස 5.37%කි.

Visits: 81