මිලර්ස් බෘවරි හිමි පර්ල් ස්ප්‍රින්ග්ස් සමාගම ලයන් බෘවරි (සිලෝන්) පීඑල්සී හා ඒකාබද්ධ කිරීමට යයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ලයන් බෘවරි (සිලෝන්) පීඑල්සී සමාගමෙහි 100%ක පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වන පර්ල් ස්ප්‍රින්ග්ස් (පෞද්) සමාගම එම සමාගම හා ඒකාබද්ධ කිරීමක් සම්බන්ධයෙන් යෝජනා වී ඇති බව ලයන් බෘවරි (සිලෝන්) සමාගම පවසයි.

ඊයේ දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් ලයන් බෘවරි (සිලෝන්) පීල්සී සමාගම මෙම කරුණු අනාවරණය කර සිටියි.

මෙහිදී අදාළ ඒකාබද්ධ කිරිම ලබන 2023 වසරේ ජනවාරි 31 වැනිදා සිට බලාත්මක වනු ඇති බවත්, මෙම ඒකාබද්ධ කිරීමෙන් අනතුරුව පර්ල් ස්ප්‍රින්ග්ස් (පෞද්) සමාගම මින් ඉදිරියට ලයන් බෘවරි (සිලෝන්) පීඑල්සී ලෙස හැඳින්වෙනු ඇති බවත් සමාගම වැඩිදුරටත් පවසයි.

එසේම මෙම ඒකාබද්ධ කිරීමත් සමගින්ම එම සමාගම සතුව තිබූ සියලුම වත්කම්, හිමිකම්, බැඳීම්, ප්‍රතිලාභයන් මෙන්ම ණයබරතාවන්ද ලයන් බෘවරි (සිලෝන්) පීඑල්සී වෙතට හිමිවනු ඇති බවත් සඳහන් වෙයි.

ඒ අනුව මෙම ඒකාබද්ධ කිරීමේ යෝජනාව ලයන් බෘවරි (සිලෝන්) පීඑල්සී සහ පර්ල් ස්ප්‍රින්ග්ස් (පෞද්) සමාගම යන සමාගම් දෙකේම කැමැත්ත බවත් සමාගම පවසයි.

2014 ඔක්තෝබර් 30 වැනිදා කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී සමාගමට අයත්ව තිබූ මිලර්ස් ලිමිටඩ් සමාගම සහ ඊට අයත්ව තිබූ වෙළෙඳ නාමය රුපියල් බිලියන 5.1කට (5,150,000,000) මිලදී ගත්තේද ලයන් බෘවරි (සිලෝන්) පීඑල්සී සමාගම සහ මෙම පර්ල් ස්ප්‍රින්ග්ස් (පෞද්) සමාගම එක්වයි.

එහිදී වෙළෙඳනාමය අත්පත් කරගැනීම වෙනුවෙන් රුපියල් බිලියන 4ක් ගෙවූ අතර, මිලර්ස් බෘවරි ලිමිටඩ්හි සියලුම කොටස් මිලදී ගැනීමට රුපියල් බිලියන 1.15ක් ගෙවීම සිදුවිය.

මෙම අත්පත් කරගැනීමත් සමගින්ම මිලර්ස් බෘවරි ලිමිටඩ් සතුව තිබූ Sando Power, Irish Dark, Sando Stout, Three Coins Lager සහ Grande Blonde යන නිෂ්පාදන කළඹද පර්ල් ස්ප්‍රින්ග් (පෞද්)සමාගම වෙත හිමි විය.

ඒ අනුව මේ දක්වා මිලර්ස් බෘවරි ලිමිටඩ් සමාගමේ මෙහෙයුම් කටයුතු සිදු වුණේ පර්ල් ස්ප්‍රින්ග්ස් (පෞද්) සමාගමෙහි 100%ක හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් ලෙසිනි.

Visits: 25