සංචාරකයන් රැගත් සුඛෝපභෝගී මගී නෞකා 17ක් ලබන වසරේදී ශ්‍රී ලංකාවට පැමිණීමේ සූදානමක

සුඛෝපභෝගී මගී නෞකා 17ක් ලබන වසරේදී ශ්‍රී ලංකාව වෙත පැමිණීමට නියමිතව ඇතැයි කොළඹ වරායේ හාබර් මාස්ටර්වරයා වන නිමල් සිල්වා මහතා පවසයි.

පසුගියදා ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය වෙත අදහස් දැක්විමක් සිදු කරමින් ඔහු මේ බව පවසා තිබේ.

ඒ අනුව පැමිණිමට නියමිත මෙම සුඛෝපභොගී මගී නෞකා අතර ලොව විශාලතම සහ වඩාත් ජනප්‍රියතම මගී නෞකාවක් වන Queen Mary 2 නෞකාවද වන බව ඒ මහතා සඳහන් කර තිබේ.

මේ හරහා මෙරට වෙත ඉහළ වත්කම් සහිත සංචාරකයන් ආකර්ෂණය කරගැනිමට හැකියාව ලැබෙනු ඇති බවත්, ඒ ඔස්සේ සංචාරක කර්මාන්තය තවදුරටත් වර්ධනය කරගැනීමට හැකියාව ලැබෙනු ඇති බවත් ඒ මහතා අපේක්ෂා කර සිටියි.

නිමල් සිල්වා මහතා සඳහන් කරන ආකාරයට පාස්දු ප්‍රහාරයට සහ COVID19 වසංගතයට පෙරාතුව පවා ඉතාමත් හොඳ සුඛෝපභෝගී මගී නෞකා පැමිණීමක් මෙරට වෙත සිදුවෙමින් පැවතී තිබේ. එහිදී 2019 වසරේදී පමණක් එවැනි නෞකා 54ක් මෙරටට පැමිණ ඇති අතර, 2018 වසරේදී නෞකා 42ක් පැමිණ තිබේ.

“2019 වසර තමයි හොඳම වසර වුණේ, 2020 වසරේදීත් නෞකා 60ක් කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබුණා. ඒත් වසංගතය නිසා ඒ සියල්ලම අත්හැර දැමුණා. යනුවෙන් ඒ මහතා ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය වෙත සඳහන් කර තිබේ.

මෙලෙස ඉදිරි වසරේදී මෙරටට පැමිණීමට නියමිතව ඇති සුඛෝපභෝගී මගී නෞකා 17න් 14ක්ම ජනවාරි සිට මැයි මාසය දක්වා පැමිණීමට සැලසුම් කර තිබේ. ඉතිරි නෞකා තුන නොවැම්බර් මාසයේදී පැමිණීමට නියමිතව තිබේ.

හාබර් මාස්ටර්වරයා පවසන අකාරයට මේ අතරින් නෞකා දෙකක් ජනවාරියේදීද, පෙබරවාරියේදී එක් නෞකාවක්ද, මාර්තුවේදී නෞකා හතරක්ද පැමිණීමට නියමිතව ඇත.

එසේම ලොව විශාලතම මගී නෞකාව ලෙස සැලකෙන මීටර් 325ක් දිග Queen Mary 2 නෞකාව ලබන පෙබරවාරි මාසයේදී කොළඹ වරායට පැමිණීමට නියමිතව ඇති අතර, එය මගීන් 3200ක් රැගෙන පැමිණීමට නියමිතව ඇත.

මේ අතර මේ වසරේදී දැනටමත් සුඛෝපභෝගී මගී නෞකා තුනක් මෙරටට පැමිණ තිබෙන අතර, ලබන දෙසැම්බර් 18 වැනිදා මගීන් 264 දෙනෙකු සමගින් Le Champion නෞකාව කොළඹ වරායට පැමිණීමට නියමිතව ඇත. එසේම දෙසැම්බර් 23 වැනිදා මගීන් 648 දෙනෙකු සමගින් Silver Spirit නෞකාව කොළඹ වරායට සේන්දු වීමට නියමිතව තිබේ.

Visits: 12