මුල් මාස 10දී අපනයන ආදායම් 8.9%කින් ඉහළට – ආනයන වියදම් 7.3%කින් පහළට

මේ වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා මුල් මාස 10ක කාලය තුළදී මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 11,032ක් ලෙස සටහන්ව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙය 2021 වසරේ එම කාලසීමාවේදී රැස්කරගෙන ඇති භාණ්ඩ අපනයන ආදායම වූ ඩොලර් මිලියන 10,131 හා සැසඳීමේදී 8.9%ක වර්ධනයකි.

එසේම මේ වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ මෙරට වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 15,421කි. එය පෙර වසරේ එම කාලසීමාවේදී සිදුකර ඇති ආනයන වියදම වූ ඩොලර් මිලියන 16,632ට සාපේක්ෂව 7.3%ක පහත වැටීමකි.

එහෙත් වසරේ මුල් මාස 10ක කාලය තුළදී මෙරට වෙළෙඳ ගිණුමේ ශේෂය ඩොලර් මිලියන -4.389ක් ලෙස සටහන්ව තිබේ. කෙසේ වෙතත් මෙය 2021 වසරේ මුල් මාස 10දී වාර්තා කළ වෙළෙඳ ගිණුමේ ශේෂය වූ ඩොලර් මිලියන  -6,501ට සාපේක්ෂව කැපී පෙනෙන පහළ යෑමකි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශ්‍රී ලංකා රේගුව මගින් නිකුත් කළ දත්ත වාර්තා අනුසාරයෙන් සකස් කළ ඔක්තෝබර් මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ වාර්තාව තුළ මේ බව සඳහන්ව තිබේ.

මෙහිදී මුල් මාස 10දී වෙළෙඳ ගිණුමේ ශේෂය පහළ වැටිම සඳහා මූලිකවම රෙදිපිළි හා ඇඟලුම් අපනයන ඩොලර්ම මිලියන 616.9කින් ඉහළ යාම, මැණික් හා දියමන්ති හා ස්වර්ණාභරණ අපනයනය ඩොලර් මිලියන 141.5කින් ඉහළ යාම මෙන්ම ඛනිජ තෙල් නිෂ්පාදන අපනයන ආදායම ඩොලර් මිලියන 81.3කින් ඉහළ යාම හේතු වී තිබේ.

එසේම ගොඩනැගිලි ද්‍රව්‍ය ආනයන වියදම ඩොලර් මිලියන  201.9කින් පහත වැටීම, බෙහෙත් හා ඖෂධ නිෂ්පාදන ආනයන වියදම ඩොලර් මිලියන 255කින් අඩුවීම, විදුලි සංදේශ මෙවලම් ආනයන වියදම ඩොලර් මිලියන 265.2කින් අඩුවීම, මුල ලෝහ ආනයනය ඩොලර් මිලියන 360.3කින් අඩුවීම මෙන්ම යන්ත්‍ර සූත්‍ර උපකරණ ආනයනය ඩොලර් මිලියන 556.9කින් අඩුවීම යනාදිය හේතු වී තිබේ.

Visits: 6