APIIT සභාපති බන්දුල එගොඩගේ කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් සභාපති ධුරයට

රජයේ මෙන්ම පෞද්ගලික සමාගම් රැසකම වසර ගණනාවක අත්දැකීම් සහිත කළමනාකරණ මට්ටමේ ජ්‍යෙෂ්ඨ වෘත්තිකයෙකු වන බන්දුල එගොඩගේ මහතා කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමෙහි (COCR.N0000) නව සභාපතිවරයා ලෙස පත් කරගත් බව එම සමාගම පවසයි.

මෙතෙක් කලක් එගොඩගේ මහතා එම සමාගමෙහි විධායක නොවන/ස්වාධීන නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළේය. පසුගිය නොවැම්බර් 17 වැනිදා සිට මෙම නව පත් කිරීම සිදු කර තිබේ.

කෙසේ වෙතත් මෙම නව පත් කිරීම සම්බන්ධයෙන් වන මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය සමාගම් සුපරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද දිනයේදී ලබා දී ඇති අතර, ඒ අනුව මෙම නව පත් කිරීම අද දිනයේ සිට බලාත්මක වෙයි.

කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමෙහි නව සභාපති බන්දුල එගොඩගේ මහතා වර්තමානයේදී ඒෂියා පැසිපික් ඉන්ෆොමේෂන් ටෙක්නොලොජි ශ්‍රී ලංකා (APIIT Sri Lanka) හි සභාපතිවරයා ලෙස කටයුතු කරයි. එසේම ඒ මහතා නෙස්ලේ ලංකා පීඑල්සී සමාගමෙහි සාංගමික සහ නියාමන කටයුතු පිළිබඳ උප සභාපතිවරයාද වෙයි.

වසර 37ක වෘත්තීමය අත්දැකීම් සහිත එගොඩගේ මහතා SAARC සාමාජික රටවල කර්මාන්ත සහ වාණිජමණ්ඩලයේ විධායක සාමාජිකයෙකුද වෙයි. එසේම ශ්‍රී ලංකා මාලදිවයින් ව්‍යාපාරික කවුන්සිලයේ සභාපතිවරයාද වන ඒ මහතා, ස්විස්ටර්ලන්ත ව්‍යපාරික කවයේ සහ ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ සාමාජිකයෙකුද වෙයි.

මේ අතර එගොඩගේ මහතා කලක් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය. එසේම ඒ මහතා ශ්‍රී ලංකා කර්මාන්ත සංගමයේ, ජාතික ඇසුරුම් මධ්‍යස්ථානයේ සහ ඩිවලොප්මන්ට් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගමේ සභාපතිවරයාද විය.

ඒ මහතා කලක් ලංකා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ මෙන්ම ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනයේද අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය. එසේම සුවසෙවන රෝහල් සහ සේලයින් ගෘප් ඔෆ් කම්පැනීස් සහ ට්‍රේඩ් ෆිනෑන්ස් පීඑල්සී යන සමාගම්වල  අධ්‍යක්ෂවරයෙකුද විය.

Visits: 7