නැගෙනහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීමේ අවස්ථාව ජපානයට

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය සංවර්ධන කටයුතු ජපානය වෙත භාරදීමට යෝජනා කෙරී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඊයේ සන්ධ්‍යාවේදී ආරම්භ වුණු ලංකා වාණිජමණ්ඩලය මගින් සංවිධානය කරන ශ්‍රී ලංකා ආර්ථික සමුළුව (Sri Lanka Economic Summit) අවස්ථාවෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් ජනපතිවරයා මේ බව පවසා තිබේ.

මීට පෙර අවස්ථාවකදීද මෙම නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීමේ කටයුතු ජපාන, ඉන්දියානු සහ ශ්‍රී ලංකා ත්‍රෛපාර්ශ්වික හවුල් ගිවිසුමක් හරහා සිදු කිරීමටයෝජනා වී තිබුණි. එහෙත් වරායවෘත්තීය සමිති මගින් එල්ලවූ විරෝධතයත් සමගින් එය අවලංගු කර එම පර්යන්තයේ ඉදිකිරිම් වරාය අධිකාරිය වෙත ලබාදීම සිදුවිය.

“අපිට මේ පර්යන්තය සංවර්ධනය කරන්න අවශ්‍ය නම් එය ජපානයට ලබා දිය යුතු වෙනවා. එතැනදී පළමු යෝජනාව ඉදිරිපත් වන්නේ ජපානයටයි. ඔවුන් ඊටකැමැත්තක් නොදැක්වුවහොත් වෙනත් රටක් වෙත යොමුවෙනවා.” යනුවෙන්ද ජනපතිවරයා මෙහිදී පවසා තිබේ.

මේ අතර කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම් මේවනවිට ආරම්භ කෙරී ඇති අතර, ඉන්දියාවේ අදානි සමාගම, ශ්‍රී ලංකාවේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය අතර ඇති කරගත් එකඟතාව යටතේ පිහිටුවාගත් සමාගමක් මගින් එම කටයුතු සිදු වෙයි.

Visits: 8