සෙලාන් බැංකුව සිදු කිරීමට නියමිතව තිබූ ණයකර නිකුතුව අත්හැර දැමේ

මෙරට ලියාපදිංචි බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන සෙලාන් බැංකුව (SEYB.N0000) 2022 වසරේදී සිදු කිරීමට සැලසුම් කර තිබූ ණයකර නිකුතුව විවෘත නොකිරීමට තීරණය කර ඇතැයි පවසයි.

මෙම ණයකර නිකුතුව 2022 දෙසැම්බර් 31 වැනිදාට පෙර නිකුත් කිරිමට නියමිතව තිබුණි.

පසුගිය නොවැම්බර් 23 වැනිදා රැස්වුණු එම බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩලය මගින් ගත් තීරණයකට අනුව මෙම පියවර ගෙන තිබේ. වර්තමානයේදී පවතින අයහපත් වෙළෙඳ පොළ තත්ත්වයන් ඊට හේතු වූ බවත් බැංකුව පවසයි.

බාසෙල් III නියමයන්ට අනුකූලවූ, අදියර 2, ලැයිස්තුගත, වර්ග කෙරුණු, සුරක්ෂිත නොවූ, අප්‍රධාන, පිරිමුදවාගතහැකි ලෙස සිදු කිරීමට නියමිතව තිබූ මෙම ණයකර නිකුතුව හරහා බැංකුව රැස් කරගැනීමට නියමිතව තිබූ සමස්ත අරමුදල් ප්‍රමාණය රුපියල් බිලියන 6 කි.

මෙම ණයකර නිකුතුව පිළිබඳ පළමු අනාවරණය 2021 ඔක්තෝබර් 29 වැනිදා සිදු වුණු අතර, පසුව 2022 පෙබරවාරි 23 වැනිදා එම බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඊට අනුමැතිය ලබාදුණි.

මෙහිදී පළමුවටය ලෙස සමස්ත ණයකර කොටස් 40,000,000ක් නිකුත් කිරීම සැලසුම වූ අතර, එක් ණයකර කොටසක් රුපියල් 100ක් බැගින් මිල කෙරී තිබුණි. ඒ අනුව නිකුතුවේ වටිනාකම රුපියල් 4,000,000,000ක් විය.

එසේම මෙම ණයකර නිකුතුව සඳහා හිමිවන අධි ඉල්ලුමත් සමගින්ම තවත් ණයකර කොටස් 20,000,000ක් නිකුත් කිරීමට බැංකුව සැලසුම් කර තිබූ අතර, ඒ හරහා රැස් කරගැනීමට සැලසුම් කළ මුදල රුපියල් 2,000,000,000ක් විය.

ඒ අනුව මෙම සමස්ත ණයකර නිකුතුව හරහා සෙලාන් බැංකුව මගින් රැස් කරගැනීමට සැලසුම් කළ සමස්ත අරමුදල් ප්‍රමාණය රුපියල් බිලියන 6ක් (6,000,000,000කි).

Visits: 6