යුනියන් බැංකුවේ 70%ක් නේපාලයේ බිලියනපතියෙකුට අයත් සිංගප්පූරු සමාගමකට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මෙරට ක්‍රියාත්මක බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන යුනියන් බැංකුවෙහි (යුනියන් බැන්ක් ඔෆ් කලම්බු පීඑල්සී) (UBC.N0000) වැඩි කොටස් හිමිකාරිත්වයක් සහිත Culture Finance Holdings Ltd සමාගම සිය කොටස් CG Capital Partners Global  Pte.Ltd. නම් සමාගම වෙත අලෙවි කර ඇතැයි පවසයි.

මෙම Culture Finance Holdings Ltd සමාගමෙහි එකම කොටස් හිමිකරුවා වන සිංගප්පූරුවෙහි ලියාපදිංචි TPG Asia VI SF Pte. Ltd. මගින් ගනු ලැබූ තීරණයකට අනුව මෙම කොටස් අලෙවි කිරීම සිදුව තිබේ.

පසුගියදා එම සමාගම මගින් යුනියන් බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩලය වෙත මේ පිළිබඳව දැනුම් දුන් බව බැංකුව කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දී තිබේ.

එම සමාගම සඳහන් කර ඇති ආකාරයට පසුගිය නොවැම්බර් 30 වැනිදා මෙම කොටස් අලෙවියට අදාළ එකඟතාවට පිවිසීම සිදුව ඇත.

කෙසේ වෙතත් මෙම කොටස් අලෙවිය පිළිබඳ අවසන් එකඟතාව නියාමන අනුමැතියන්ට යටත්ව සිදුවනු ඇතැයිද යුනියන් බැංකුව සඳහන් කර සිටියි.

පසුගිය ඔක්තෝබර් මාසයේදී ප්‍රකාශයට පත් කෙරුණු යුනියන් බැංකුවෙහි ආසන්නතම අතරමැදි මූල්‍ය ප්‍රකාශයට අනුව 2022 සැප්තැම්බර් 30 වැනිදා වනවිට එම බැංකුවෙහි කොටස් හිමිකාරිත්වයෙන් කොටස් 767,558,888ක් එනම් 70.84%ක ප්‍රතිශතයක් මෙම Culture Finance Holdings Ltd සමාගම වෙත හිමිව තිබී ඇත.

මෙලෙස එම කොටස් ප්‍රමාණය අත්පත් කරගත් CG Capital Partners Global  Pte.Ltd. සමාගමත් සිංගප්පූරුවෙහි ලියාපදිංචි සමාගමකි.

එය නේපාලයේ බිලියනපති ව්‍යාපාරිකයෙකු වන බිනෝද් කුමාර් චෞද්රි මහතාට අයත් CG Group Global සමාගමට අයත් ආයෝජන අරමුදලකි.

67 හැවිරිදි බිනෝද් අද වනවිට ෆෝබ්ස් සඟරාවේ ලැයිස්තුගත නේපාලයේ පළමු සහ එකම බිලියනපතියාද වෙයි. ඔහුගේ සමස්ත වත්කම එක්සත් ජනපද ජනපද ඩොලර් බිලියන 1.5ක් ලෙස සැලකෙයි.

අද වනවිට චෞද්රි මහතාගේ මෙම CG Group Global සමාගම ලොව රටවල් 30කට අධික සංඛ්‍යාවක ව්‍යාපාර 100කට අධික සංඛ්‍යාවක මුදල් ආයෝජනය කර තිබේ. එසේම නේපාලයේ විශාලතම පෞද්ගලික අංශයේ බැංකුව වන Nabil බැංකුවෙහි වැඩි කොටස් හිමිකාරීත්වය ඇත්තේද CG Group Global සමාගම වෙතයි.

Visits: 10