නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී යළිත් මූල්‍ය ආයතනයක් හා එක්වීමේ උත්සාහයක

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සමාගම (CSF.N0000) ඉදිරියේදී මෙරට තුළ මූල්‍ය ව්‍යාපාරයේ නිරත ලියාපදිංචි බලපත්‍රලාභී මූල්‍ය ආයතනයක් හා ඒකාබද්ධ වීමේ උත්සාහයක පසුවන බව පවසයි.

මහ බැංකුව මගින් ඉදිරිපත් කර ඇති මෙරට තුළ ක්‍රියාත්මක බැංකු නොවන මූල්‍ය සමාගම් මගින් පවත්වාගෙන යා යුතු මූලික ප්‍රාග්ධන අවශ්‍යතාවන් පිළිබඳ කටයුත්තට දක්වන අනුකූලතාවක් ලෙස මෙම කටයුතු සිදු වනු ඇතැයි නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සමාගම පවසයි.

මෙම මූලික ප්‍රාග්ධන අවශ්‍යතාව වෙනුවෙන් නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සමාගම පසුගිය සැප්තැම්බර් මාසයේදී කොළඹ කොටස් හුවමාරුව තුළ හිමිකම් නිකුතුවක් සිදු කළ අතර, එහිදී රැස් කරගත් අරමුදල් සම්පාදනය ප්‍රමාණවත් නොවීම මෙලෙස මූල්‍ය ආයතනයක් සමගින් ඒකාබද්ධවීමේ තීරණයට හේතුව බව නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සමාගම පවසයි.

සමාගම විසින් මෙම හිමිකම් නිකුතුවේදී රුපියල් බිලියන 2.0ක (2,009,028,227.50ක) අරමුදල් රැස් කරගැනීමක් බලාපොරොත්තු වුවද එහිදී හිමි වූයේ රුපියල් බිලියන 1.1ක (1,106,030,936.40ක) මුදලක් පමණකි.

නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සමාගම සඳහන් කරන ආකාරයට අද 2022 මාර්තු 31 වැනිදා වනවිට එම සමාගම සතු ප්‍රාග්ධන අරමුදල් ප්‍රමාණය රුපියල් 413,087,000.00 කි. එසේම මෙම හිමිකම් නිකුතව හරහා රැස් වුණු අරමුදල වන රුපියල් 1,106,030,963.40ත් සමගින් එය රුපියල්  1,519,117,963.4 ක් ලෙස සටහන්ව ඇත.

එහෙත් මහ බැංකුවෙහි බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති උපදෙස් අනුව එය රුපියල් 2,500,000,000.00ක් ලෙස සටහන්ව විය යුතුව තිබේ.

ඒ අනුව මෙම ප්‍රාග්ධන අවශ්‍යතාව සම්පූර්ණ කරගැනීම සඳහා තම සමාගම මෙලෙස තවත් මූල්‍ය ආයතනයක් සමගින් ඒකාබද්ධවීමේ යෝජනාවක් සිදු කර තිබෙන බවත්, ඒ සම්බන්ධයෙන් වන මහ බැංකුවෙහි මුදල් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය යුතුව ඇති බවත් පවසයි.

මෙහිදී එම ඒකාබද්ධ තාව හරහා රැස් කරගැනීමට බලාපොරොත්තු වන අරමුදල් ප්‍රමාණය රුපියල් 1,500,000,000.00 කි.

ඒ අනුව මෙම ඒකාබද්ධ කිරීම වෙනුවෙන් මහ බැංකුවෙන් ලැබෙන අනුමැතිය, කොටස්හිමිකරුවන්ගේ අනුමැතිය සහ සිදුකළයුතුව ඇති අනෙකුත් පරිපාලන කටයුතු සම්පූර්ණ කිරීමෙන් අනතුරුව 2023 ජනවාරි 31 වැනිදා වනවිට සමාගම සතු සමස්ත ප්‍රාග්ධන අරමුදල රුපියල් බිලියන 3ක් (3,019,117,963.40ක්) බවට පත්වෙනු ඇතැයිද නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී පවසයි.

මීට පෙර නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සමාගම සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී සමගින් ඒකාබද්ධ වීමට නියමිතව තිබුණත්, එය එසේ සිදු නොවුණි. අනතුරුව සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී සමාගම LOLC සමූහයට අයත් කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් හා ඒකාබද්ධ විය.

මේ අතර නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සමාගමෙහි කොටස්  192,027,496ක් රුපියල් මිලියන 134ක මුදලකට මිලදී ගැනීමට Ceyoka (පෞද්) සමාගම පසුගිය මැයි මාසයේදී පියවර ගත්තේය. එය සමස්ත කොටස් හිමිකාරීත්වෙයෙන් 14.18%ක් විය.

Visits: 146