කොමර්ෂල් බැංකුවේ රුපියල් බිලියන ණයකර නිකුතුවට ආරම්භ දිනයේදීම අධිදායකත්වයක්

කොමර්ෂල් බැංකුව විසින් නිකුත් කළ රුපියල් බිලියන 10 ක ණයකර නිකුතුව සඳහා කැපී පෙනෙන ඉහළ ආයෝජක ඉල්ලූම හේතුවෙන් නිකුතුව විවෘත කළ දෙසැම්බර් 01 වනදාම පැය කීපයකට පසු අවසන් කිරීමට බැංකුව තීරණය කළේය.

කොමර්ෂල් බැංකුවේ වත්කම් සහ වගකීම් කළඹන් අතර තිබෙන කල් පිරීමේ නොගැලපීම මගහරවා ගැනීම සහ ජාතික ආර්ථිකය නගා සිටුවීමට සහයෝගය ලබාදීම සඳහා විශේෂයෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන් සහ අපනයනය ඉලක්ක කර්මාන්ත වෙනුවෙන් ණය පහසුකම් ලබාදීමට අවශ්‍ය අරමුදල් සපයා ගැනීමටත් බැංකුවේ දෙවන පෙළ ප‍්‍රාග්ධන මට්ටම ශක්තිමත් කරගැනීමටත් මෙම රුපියල් බිලියන 10 ක ණයකර නිකුතුව සිදුකරන ලදී.  

මෙම ණයකර නිකුතුව සඳහා අධි ඉල්ලූමක් ලැබීම පිළිබඳව කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතා මෙසේ අදහස් දැක්වීය. ‘බැංකුවේ අනාගත පුරෝකතන පිළිබඳව තිබෙන විශ්වාසය සහ ශක්තිය ආයතනික සහ පුද්ගලික ආයෝජකයින්ගෙන් ලැබුණු ඉහළ ප‍්‍රතිචාරය මගින් පිළිඹිබු වෙනවා. මෙය කොමර්ෂල් බැංකුවට වගේම සමස්ත බැංකු අංශයටම ලැබුණු දිරියක් ලෙස පෙන්වා දිය හැකියි. මෙම නව ප‍්‍රාග්ධනය මගින් බැංකුව තවදුරටත් ශක්තිමත් වෙනවා. ඒ තුළින් තවදුරටත් වර්ධනය වීමට අපි බලාපොරොත්තු වෙනවා.’ 

බාසල් III අනුකූලතාවයට යටත්ව නිකුත් කළ කොමර්ෂල් බැංකුවේ දෙවන පෙළ ලයිස්තුගත සහ වර්ගීකරණය කළ ඇප රහිත ණයකරයක වටිනාකම රුපියල් 100 ක් වේ. මෙම ණයකර කාණ්ඩ 03 කින් නිකුත් කළ අතර A කාණ්ඩය වසර 05 කින්ද B කාණ්ඩය වසර 07 කින්ද C කාණ්ඩය වසර 10 කින්ද කල් පිරේ.

වසර 05 කින් කල් පිරෙන ණයකරය සඳහා 28.00% ක වාර්ෂික ස්ථාවර පොලී අනුපාතයක් (AER 29.96%) ලබාදෙන අතර ඒ සඳහා ගෙවීම් අර්ධ වාර්ෂික වශයෙන් සිදුකරයි. එසේම, වසර 07 කින් සහ 10 කින් කල් පිරෙන ණයකර සඳහා 27.00% ක වාර්ෂික ස්ථාවර පොලී අනුපාතයක් (AER 28.82%) සහ 22.00% ක වාර්ෂික ස්ථාවර පොලී අනුපාතයක් (AER 23.21) පිළිවෙලින් ලබාදෙන අතර ඒ සඳහා ගෙවන්නේද අර්ධ වාර්ෂික වශයෙනි. 

Visits: 67