ගල්කිස්ස මහ හෝටලය හෙට (02දා) සිට සංචාරකයන් සඳහා යළි විවෘත කෙරේ

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තුළ සුවිශේෂී හෝටලයක් වන ගල්කිස්ස මහ හෝටලය හෙට (02දා) දිනයේ සිට යළිත් සංචාරකයන් සඳහා විවෘත කෙරෙන බව පවසයි. වසර දෙකක විරාමයකට පසුව එම හෝටලය මෙලෙස සංචාරකයන් සඳහා විවෘත වීමට නියමිතව තිබේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වා ඇති ගල්කිස්ස මහ හෝටලයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ සනත් උක්වත්ත මහතා, පසුගිය වසර දෙකක කාලය පුරා එම හෝටලය COVID-19 රෝගීන්ගේ නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය බවත්, අනතුරුව එය කුඩා රෝහලක් ලෙස පවත්වාගෙන ගියබවත් සඳහන් කර තිබේ.

“කෙසේ වෙතත් ගනුදෙනුකරුවන්ගේ සහ සංචාරක ක්ෂේත්‍රයේ හවුල්කරුවන්ගේ ඉල්ලීමත් සමගින්ම අපි මෙම හෝටලය නැවතත් අලුත්වැඩියා කිරීමෙන් අනතුරුව දෙසැම්බර් 2 වැනිදා විවෘත කිරිමට තීරණය කර තිබෙනවා. මේ යටතේ පළමුවෙන්ම හෝටලයේ කාමර 60ක් සංචාරකයන් සඳහා විවෘත කෙරෙනවා. ඉතිරි කාමර 2023 ජනවාරි මාසය මැද වෙද්දී සම්පූර්ණයෙන්ම මෙහෙයුම් සඳහා එක් කරාවි.” යනුවෙන් උක්වත්ත මහතා පවසා ඇත.

ඔහු සඳහන් කරන ආකාරයට මෙම ගල්කිස්ස මහ හෝටලය වැඩි වශයෙන්ම විවාහ මංගල උත්සව සහ ආහාර පාන සඳහා ඉහළ ජනප්‍රියත්වයක් හිමි කරගත් ස්ථානයකි. ඒ අනුව මෙම අංශ දෙකම යළිත් සම්පූර්ණයෙන්ම මෙහෙයුම් ආරම්භ කර ඇති බවත්, වසර අවසානය ඉලක්ක කරගනිමින් විවිධ ඉසව් සංවිධානය කිරිමටද කටයුතු යොදා ඇතැයිද ඒ මහතා පවසා ඇත.

Visits: 138