2022 ඔක්තෝබර් මාසයේදී අපනයන ආදායමේ 8.18%ක අඩුවීමක්

2022 ඔක්තෝම්බර් මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයනය හරහා සිදුකළ ආදායම් ඉපැයීම්හි වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,094.8ක් බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දත්ත අනුසාරයෙන් එම මණ්ඩලය මේ බව සඳහන් කර සිටියි.

ඒ අනුව මෙම අපනයන ආදායම් ඉපැයීම් පෙර වසරේ ඔක්තෝබර් මාසයේ වාර්තා කළ ඩොලර් මිලියන 1,192.3 ක වටිනාකම හා  සැසඳීමේදී 8.18%ක පසු බැසීමක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී ප්‍රධාන වශයෙන් ඇඟලුම් සහ රෙදිපිළි, තේ, රබර් ආශ්‍රිත නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන, කුළුබඩු සහ සගන්ධ තෙල් සහ ධීවර අංශයේ අපනයන ආදායම අඩුවීම් හේතු වී තිබේ. තවද, ගෝලීය අර්බුදයන්හි බලපෑම ප්‍රධාන නිෂ්පාදනවල අපනයන ආදායම අඩුවීමටද බලපා තිබේ.

ඒ අනුව ඇගලුම් හා රෙදිපිළි ආදායම -13.19%කින්, තේ ආදායම -0.76%කින්, රබර් ආශ්‍රිත නිෂ්පාදන -6.10%කින්, පොල් ආශ්‍රිත නිෂ්පාදන -7.12%කින් යනාදී ලෙස අඩු වී තිබේ. කෙසේ වෙතත් දියමන්ති සහ මැණික් අපනයන ආදායම 74.33%කින් ඉහළ ගොස් තිබේ. එසේම ඛනිජ තෙල් නිෂ්පාදන අපනයන ආදායම 374.28%කින් ඉහළ නැග ඇත.

කෙසේ වෙතත් 2022 වසරේ ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා මාස 10ක කාලය තුළදී මෙරට සමස්ත අපනයන ආදායම් ඉපැයීම එක්සත් ජනපද ඩොලර් මිලියන 11,076.00ක් ලෙස සටහන්ව තිබේ.

මෙය 2021 වසරේ මුල් මාස 10 තුළදී වාර්තා කළ සමස්ත අපනයන ආදායම් ඉපැයීම වූ ඩොලර් මිලියන 10,130.83ට සාපේක්ෂව 9.33%ක වර්ධනයකි.

මේ අතර 2022 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය සඳහා සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම ඩොලර් මිලියන 1,619.66 ක් ලෙස සටහන්ව ඇත. එය 2021 අනුරූප කාලපරිච්ඡේදයට වඩා 2.64% කින් ඉහළ යාමකි.

අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ඇස්තමේන්තු ගත කර ඇති සේවා අපනයන තොරතුරු සන්නිවේදන තාක්ෂණ (ICT), ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය (BPM), ඉදිකිරීම්, මූල්‍ය, සේවා, ප්‍රවාහන සහ සැපයුම් සේවා ආදියෙන් සමන්විත වේ.

Visits: 83