ප්‍රමුඛ විදෙස් ආයෝජන අරමුදලක් වන Tundra Fund හි මේතියස් අල්තොෆ් මෙරට සංචාරයක

මෙරට ලැයිස්තුගත සමාගම් කිහිපයකම ප්‍රමුඛතම විදෙස් ආයෝජකයෙකු ලෙස සැලකෙන‍, Tundra Fund (Tundra Fonder) ප්‍රධාන ආයෝජන නිලධාරී (CIO) මේතියස් අල්තොෆ් මහතා මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් සිටින බව වාර්තාවෙයි.

පසුගිය නොවැම්බර් 26වැනිදා ඔහු මෙරටට පැමිණ ඇති අතර, මෙම ගමනේදී ඔහු එම අරමුදල මගින් මෙරට ආයෝජනය කර ඇති සමාගම්හි ප්‍රධානීන් සමගින් සාකච්ඡා කිරීමක්ද සිදු කර තිබේ.

ස්වීඩනයේ වත්කම් කළමනාකරණ සමාගමක් වන Tundra Fonder අරමුදල සිය Tundra Sustainable Frontier Fund අරමුදල මගින් සිය ආයෝජන සිදු කරයි. මේතියස් මහතා එම අරමුදලෙහි නැගීඑන/ඉදිරිපෙළ වෙළෙඳ පොළ පිළීබඳ විශේෂඥයෙකු ලෙස සැලකෙයි.

මේතිසය් මහතාගේ මෙම සංචාරය සම්බන්ධයෙන් Tundra Fund හි නිල ට්විටර් ගිණුමේ තබා ඇති සටහනකට අනුව, “ඔහු මෙම දින කිහිපයේදී අපගේ අරමුදලේ ආයෝජන කළඹට අයත් ශ්‍රී ලංකාවේ සමාගම් කිහිපයකම ප්‍රධානීන් හමුවේවි. ඒ වගේම පුනර්ජනනීය බලශක්ති පරිශ්‍රයක් වෙතත් යාවි.” යනුවෙන් සඳහන් කර තිබේ.

ඒ අනුව මෙම ගමනේදී ඔහු Tundra Fund හි ප්‍රධානතම ආයෝජනයක් වන Windforce PLC සමාගමෙහි බලාගාර පරිශ්‍ර දැක බලා ගැනීම සඳහාද ගොස් තිබේ. මෙම අරමුදල මගින් 2021 ජූනි මාසයේදී වින්ඩිෆෝර්ස් පීඑල්සී සමාගම තුළ ඇති සිය ආයෝජනය දෙගුණයක් කරගැනීමට පියවර ගත්තේය. ඒ අනුව එම සමාගම සතු වින්ඩ්ෆෝර්ස් කොටස් හිමිකාරීත්වය 2.5%ක් වෙයි.

එසේම ඊයේ දිනයේදී මේතියස් මහතා ශ්‍රී ලංකාවේ මහ බැංකුවෙහි අධිපති නන්දලාල් වීරසිංහ මහතා සමගින් සාකච්ඡාවක නිරත වී තිබේ. මීට අමතරව ශ්‍රී ලංකාවේ තිරසාර ආර්ථික යථාවත්වීම සම්බන්ධයෙන් එම අරමුදලේ ආයෝජන කළඹට අයත් කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී සහ හේමාස් හෝල්ඩිංග්ස් හි ප්‍රධානීන් සමගින්ද සාකච්ඡාවක් පවත්වා තිබේ.

මේ අතර ඊයේ දිනයේදී ඒ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමගින් රාත්‍රී භෝජන සංග්‍රහයකටද එක් වුණු බවත් සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබේ.

Visits: 412