හැරීගේ ‘කොන්ටිනෙන්ටල් ඉන්ෂුවරන්ස්‘ වෙත ජීවිත රක්ෂණ සමාගමක් පිහිටුවීම සඳහා අනුමැතිය

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී සමාගමෙහි රක්ෂණ හස්තය වන කොන්ටිනෙන්ටල් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් (Continental Insurance Lanka Ltd.) සමාගම වෙත ජීවිත රක්ෂණ සමාගමක් පිහිටුවීම සඳහා අනුමැතිය ලබාදීමට රක්ෂණ නියාමන කොමිසම පියවර ගෙන ඇතැයි පවසයි.

ඒ අනුව මෙහිදී එම ජීවිත රක්ෂණ සමාගම මෙම වසරේ සිව්වැනි කාර්තුව ඇතුළතදී පිහිටුවීම සැලසුම වී තිබේ. මෙහිදී දැනට එම සමාගම මගින් ක්‍රියාත්මක ජීවිත නොවන රක්ෂණ සමාගම වන කොන්ටිනන්ටල් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් (CILL) සමාගමෙහි පරිපාලිත සමාගමක් ලෙස මෙය ක්‍රියාත්මක වනු ඇතැයි සඳහන් වෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ චමින්ද ද සිල්වා මහතා, “මෙලෙස ජීවිත රක්ෂණ ව්‍යාපාරය වෙත පිවිසීම කොන්ටිනෙන්ටල් ඉන්ෂුවරන්ස් ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක්. මෙතැනදී අපගේ ප්‍රති රක්ෂණ හවුල්කරුවන් වන්නේ ජර්මනියේ Munich Re සමාගමයි. අපි  2010 වසරේදී අපගේ ජීවිත නොවන රක්ෂණ සමාගම ආරම්භ කරන අවස්ථාවේදී අපිට සිදු වුණේ අපිට වඩා දශක ගණනාවක් පැරණි සමාගම් සමගින් තරගයේ යෙදෙන්න. නමුත් ගත වුණු වසර 12 තුළදී CILL සමාගම වඩාත් සමබර ශේෂපත්‍රයක් සහ ශක්තිමත් වෙළෙඳ පොළ කොටසක් සමගින් රක්ෂණ ක්ෂේත්‍රයේ මුල් පෙළේ සමාගමක් බවට පත්විමට හැකියාව ලැබී තිබෙනවා.” යනුවෙන් පවසයි.

ඒ අනුව සිය මව් සමාගමේ මූල්‍යමය සහ මෙහෙයුම් සහයෝගිතාවත් සමගින් ඉදිරියේදී සිය ජීවිත රක්ෂණ සමාගමේද මෙහෙයුම් පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බවද ඒ මහතා වැඩිදුරටත් පවසා තිබේ.

මෙම කොන්ටිනෙන්ටල් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සමාගම අයත් මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී සමාගම මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතාට අයත් ව්‍යාපාරයකි. ඒ අනුව මෙලෙස ජීවිත රක්ෂණ සමාගමක් සඳහා අවස්ථාව ලැබීම කොන්ටිනෙන්ටල් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් ලැබූ දැවැන්ත ජයග්‍රහණයක් බව පැවසෙයි.

2022 වසරේ පළමු අර්ධය තුළදී කොන්ටිනෙන්ටල් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සමාගම සිය ආදායමේ 40%ක වර්ධනයක් හිමි කරගැනීමටත් සමත්ව ඇති අතර, රට තුළ පවතින දුර්වල ආර්ථික කාලපරිච්ඡේදයක් තුළ එම ආදායම් රැස් කරගැනීමට සමත්වීමත් කැපී පෙනෙන අවස්ථාවකි. එසේම මේවසරේ පළමු මාස හය තුළදී සමාගමේ වත්කම් රුපියල් බිලියන 10ක් පසු කර ඇති අතර, ආයෝජිත වත්කම් ප්‍රමාණය රුපියල්බිලියන 8 ඉක්මවා තිබේ.

එසේම පසුගියදා පැවැති Global Banking and Finance Awards හිදී කොන්ටිනෙන්ටල් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සමාගම “2022 වසරේදී ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන ජිවිත නොවන රක්ෂණ සමාගම“  ලෙස සම්මානයට පාත්‍ර වූ අතර, Insurance Asia Awards හිදී “වසරේ දේශීය සාමාන්‍ය රක්ෂණ සමාගම” ලෙස සම්මානයට පාත්‍ර විය.

Visits: 184