ශීතකරණ, ඇඟලුම්, විලවුන්, ටයිල්, බ්‍රේරේක් පෑඩ්ස් ඇතුළු භාණ්ඩ 78ක ආනයන තහනම ඉවතට

ඊයේ (24) මධ්‍යම රාත්‍රි සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ 78ක ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ දිනයේදී මේ පිළිබඳ නිවේදනය සිදු කළේය.

ඒ අනුව ශීතකරණ, අධි ශීතකරණ, ඇඟලුම්, සෙරමික් භාණ්ඩ, ටයිල්, රෙදි සෝදන යන්ත්‍ර, ගුවන්විදුලි යන්ත්‍ර, වොටර් හීටර්, බ්‍රේක් ලයිනර්, බ්‍රේක් පෑඩ්ස් ඇතුළු සංචාරක සහ කර්මාන්ත යන ක්ෂේත්‍රයන්හි ප්‍රවර්ධනය උදෙසා අවශ්‍ය වන භාණ්ඩ රැසක් ඒ අතර වන බව බව රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කර තිබේ.

එසේම මෙලෙස ආනයන සීමා ඉවත් කළ භාණ්ඩ අතුරින් 15ක් සඳහා ඒ ක්ෂේත්‍රවල බලධාරීන්ගේ නිර්දේශ මත ආනයන අපනයන පාලකගේ අනුමැතියෙන් ආනයනය කිරීමට අවසර හිමිව තිබේ.

ඒ අතරට රූපලාවණ්‍ය උපකරණ, සුවඳ විලවුන්, දන්ත සෞඛ්‍ය උපකරණ ඇතුළත් වේ. මේවා ආනයනය සඳහා ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියාගේ හෝ සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ හෝ නිර්දේශය අවශ්‍ය වේ.

පවතින විදේශ විනිමය අර්බුදය හේතුවෙන් පසුගිය අගෝස්තු මස 23 දා සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ එච්.එස්. කේත 1468කට අයත් භාණ්ඩ ආනයනය අත්හිටුවීමට රජය කටයුතු කළ අතර, අනතුරුව විවිධ පාර්ශ්වයන්ගෙන් ලද සාධාරණ ඉල්ලීම් සලකා බලා සැප්තම්බර් මස 09 දා ඉන් භාණ්ඩ 708ක ආනයන තහනම ඉවත් කිරීමට රජය පියවර ගත් බවද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කරයි.

Visits: 220