‘ෆැසෙට්ස් ශ්‍රී ලංකා 2023‘ ප්‍රදර්ශනය ජනවාරි 07 සිට 09 දක්වා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී

ජාත්‍යන්තරව සංවිධානය කෙරෙන මැණික් සහ ස්වර්ණාභරණ වෙළෙඳ ප්‍රදර්ශන අතර වඩාත් සුවිශේෂී අවධානයක් යොමුවන ප්‍රදර්ශනයක් ලෙස සැලකෙන ෆැසෙට්ස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය, වසර දෙකක නිහැඬියාවකින් පසුව යළිත් 2023 වසරේදී කරළියට පැමිණීමට නියමිතව තිබේ.

ඒ අනුව 2023 ජනවාරි 7 දා සිට 9 දා දක්වා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මෙම ෆැසෙට්ස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය 2023 පැවැත්වෙන බව ඊයේ (21දා) පැවැති මාධ්‍ය හමුවකදී එහි සංවිධායකයෝ නිල වශයෙන් සඳහන් කළහ.

සුවිශේෂී ආකර්ෂණයක්ද සමගින් මෙවර ප්‍රදර්ශනය ෆැසෙට්ස් ශ්‍රි ලංකා සුවිශේෂී ප්‍රදර්ශනය 2023 (FACETS Sri Lanka Premier Edition) ලෙස නම් කෙරී තිබේ.

මෙම මාධ්‍ය හමුවට ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විරාජ් ද සිල්වා, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ද මෙල් , ෆැසෙට්ස් ශ්‍රී ලංකා  සභාපති අල්ටාෆ් ඉක්බාල් සහ  ශ්‍රි ලංකා මැණික් සහ ස්වර්ණාභරණ සංගමයේ සභාපති අජ්වාඩ් ඩීන්  යන මහත්වරු සහ වෙනත් ආයතන ප්‍රධානීහු සහභාගිවූහ.

විශේෂයෙන්ම මෙම ප්‍රදර්ශනය හරහා අතිවිශිෂ්ට ලංකා නිල් මැණික් සඳහා සුවිශේෂී ස්ථානය හිමිකර දිය යුතු බවත් ලොවපුරා ශ්‍රී ලංකාවේ මැණික් දිනාගෙන සිටින ජනප්‍රියභාවය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම බෙහෙවින් වැදගත් බවත් මෙම මාධ්‍ය හමුවේදී අවධාරණය කෙරිණි.

එසේම මෙම ප්‍රදර්ශනය ශ්‍රි ලංකාවේ විදේශ සංචිත ඉහළ නැංවීමට දිරියක් ලැබෙන මාවතක් විවර කරන බවද මෙහිදී ප්‍රකාශ විය. මීට පෙර අවස්ථාවලදී වසරේ සැප්තැම්බර් මාසයේදී සංවිධානය වන මෙම ප්‍රදර්ශනය මෙවර වඩා වැඩි සංචාරක ආකර්ෂණයක් හිමි කරගැනීම වෙනුවෙන් ශීත ඍතු සමය ඉලක්ක කරගනිමින් මෙලෙස ජනවාරි මාසයේදී පැවැත්වෙන බව සංවිධායකයෝ පවසති.

මේ අතර මෙවර ප්‍රදර්ශනයේදී වැඩි වශයෙන් දේශීය සුළු හා මධ්‍ය පරිමාණ මැණික් ව්‍යාපාරිකයන් සඳහා අවස්ථාව ලබාදීමටත් තීරණය කෙරී තිබේ. ඒ හරහා ඔවුන්ට ජාත්‍යන්තරය වෙත යොමුවීමේ අවස්ථා සලසා දීම අරමුණ බව ෆැසෙට්ස් ශ්‍රී ලංකා  සභාපති අල්ටාෆ් ඉක්බාල් මහතා මෙහිදී සඳහන් කළේය.

එසේම මෙහිදී අදහස් දක්වා සිටි ජාතික  මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විරාජ් ද සිල්වා මහතා, වසරේ මුල් මාස 10ක කාලය තුළදී මේ දක්වා මැණික් සහ ස්වර්ණාභරණ අපනයනය හරහා එක්සත් ජනපද ඩොලර් මිලියන 335ක ආදායමක් උපයා ගැනීමට හැකිව ඇතැයි සඳහන් කළේය. එහිදී මේ වසරේ එම අපනයන ආදායම ඩොලර් මිලියන 500ක් පමණ වනු ඇතැයි අපේක්ෂාව වී තිබේ.

ඒ අනුව 2023 වසරේදී  ඇමරිකානු ඩොලර් බිලියනයක අපනයන ආදායමක් මෙම කර්මාන්තයෙන් උපයාගැනීමට ඉලක්ක කරමින් රටට තවත් විදේශ විනිමය උපයාගැනීමට හැකිවන පරිදි ශ්‍රි ලංකාවේ මැණික්  නව දීප්තිමත් අවකාශයක ස්ථානගත කිරීමේ ඉදිරිදැක්මක් ෆැසෙට්ස් ශ්‍රී ලංකා සතුව ඇතැයිද මෙම හමුවේදී අවධාරණය කෙරිණි.

ශ්‍රි ලංකා මැණික් සහ ස්වර්ණාභරණ සංගමයේ සභාපති අජ්වාඩ් ඩීන්  මහතා අදහස් දක්වමින්, ලෝකයේ ඕනෑම තැනක, යම් ස්වර්ණාභරණයක් නිෂ්පාදනය කිරීමේදී යොදා ගැනීමට මැණික් තෝරාගන්නා විට වැඩිම මනාපය හිමිවන මැණික් ශ්‍රී ලංකාවේ මැණික් බවට සහතික කිරීමේ ප්‍රයත්නයේ ආරම්භය මෙයයි.” යනුවෙන් පැවසීය.

මෙවර ප්‍රදර්ශනය පැවැත්වෙන සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය එම ප්‍රදර්ශනය සඳහා නැරඹීම සඳහා පැමිණෙන විදේශීය සංචාරකයන් සඳහා සුවිශේෂී සංචාරක පැකේජ හඳුන්වාදීමක්ද සිදු කර ඇතැයි මෙම අවස්ථාවට සහභාගි වූ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ සාමාන්‍යාධිකාරී කමල් මුණසිංහ මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රි ලංකා මැණික් සහ ස්වර්ණාභරණ සංගමය මැණික් ගැරීමේ සිට  නිෂ්පාදන, තොග වෙළඳාම සහ සාමාන්‍ය වෙළඳාම දක්වා  මෙම කර්මාන්යේ උප අංශවල අභිලාෂයන් නියෝජනය කරන පෞද්ගලික අංශයේ මුදුන් සංවිධානයයි. ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සහ ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ හවුල්කාරිත්වයෙන් ශ්‍රි ලංකා මැණික් සහ ස්වර්ණාභරණ සංගමය ෆැසෙට්ස් ශ්‍රී ලංකා  ප්‍රදර්ශනය සංවිධානය කරයි.

Visits: 62