Expolanka Holdings PLC 2022 මූල්‍ය වර්ෂයේ දෙවැනි කාර්තුවේදී ශුද්ධ ලාභයේ 25%ක වර්ධනයක්

Expolanka Holdings PLC සමාගම 2022 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ කාර්තුව තුළ, අභියෝගකාරී ආර්ථික පරිසරයක් තුළ පවා සාධනීය ප්‍රතිඵල වාර්තා කිරීමට සමත් වී ඇතැයි පවසයි.

එහිදී සමාගමේ ආදායම රු. බිලියන 161.7ක් (පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 7% ක වර්ධනයක්), ශුද්ධ ලාභය රු. බිලියන 28.3ක් (පෙර වසරට සාපේක්ෂව 25% ක වර්ධනයක්) සහ බදු-පසු ලාභය රු. බිලියන 9.0ක් (පෙර වසරට සාපේක්ෂව 25% ක අඩුවීමක්) ලෙස වාර්තා වී තිබේ.

මෙම ප්‍රතිඵල සමගින් සමාගම වසරේ මේ දක්වා රු. බිලියන 396 ක ආදායමක් (පෙර වසරට සාපේක්ෂව 61% ක වර්ධනයක්) සහ බදු පසු ලාභය රු. බිලියන 29.2 ක් (පෙර වසරට සාපේක්ෂව 59% ක වර්ධනයක්) වාර්තා කරගෙන තිබේ.

මෙම කාර්තුව තුළදී, අනාගත වර්ධනය සඳහා යටිතල පහසුකම් සහ හැකියාවන් වර්ධනය කරගන්නා අතරම කාර්යසාධන ස්ථායිතාව පවත්වා ගැනීම කෙරෙහි සමාගමේ අවධානය යොමු විය.

Expolanka සමූහ ව්‍යාපාරය මෙම කාර්තුව තුළ සිය කාර්ය සාධනය තහවුරු කරගැනීමට කටයුතු කළ අතර, එහි ජාත්‍යන්තර මෙහෙයුම්වලින් ලැබුණු ඉපැයුම් 95% ට වඩා ඉහළ මට්ටමක පැවතුණි. මෙම ප්‍රතිඵල සමගින්, කාර්තුව තුළ කොටසක් සඳහා රු. 4.63 ක ඉපැයුමක් වාර්තා කිරීමට සමාගමට හැකි විය.

කාර්ය සම්පාදන අංශය
කාර්තුව තුළ ගෝලීය වෙළඳපොළවල් වලට බාධා එල්ල වීම දිගින් දිටම සිදු වූ නිසා, ව්‍යාපාර කටයුතු මන්දගාමී විය. COVID-19 හේතුවෙන් මතු වූ ඉල්ලුම යටපත් වී ඇති අතර, ධාරිතාව මත ඇති වී තිබූ පීඩනය ක්‍රමයෙන් අඩු වී, භාණ්ඩ ප්‍රවාහන ගාස්තු අඩු විය.

මෙම අභියෝග වලට මුහුණ දෙමින් සාර්ථක ප්‍රතිඵල වාර්තා කිරීමට කාර්ය සම්පාදන අංශයට හැකි වී තිබේ. එහි ආදායම රු. බිලියන 159 ක්ද, ශුද්ධ ලාභය රු. බිලියන 27.6 ක් ද වූ අතර එම අගයන් පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව පිළිවෙළින් 6% ක සහ 23%ක වැඩිවීමකි.

අංශයේ බදු-පසු ලාභය රු. බිලියන 8.5 ක් වූ අතර එය පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 30% ක පහළ යාමක් ලෙස දැක්වේ. ඉහත ප්‍රතිඵල හේතුවෙන්, ක්ෂේත්‍රය වසරේ මේ දක්වා රු. බිලියන 27.3 ක බදුපසු ලාභයක් වාර්තා කර ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව 45% ක වර්ධනයකි.

ඉල්ලුම අඩු වීම හේතුවෙන් ගුවන් ප්‍රවාහන සේවා මෙහෙයුම් මෙම කාර්තුව තුළ ක්‍රමයෙන් පහළ ගියේ ය. විකුණුම් කටයුතු වර්ධනය කරගැනීම සඳහා දරන ලද දැඩි උත්සාහයන් සහ ශක්තිමත් සේවා හැකියාව නිසා සමාගමට මෙහි බලපෑම අවම කරගැනීමට හැකි විය. කාර්තුව තුළ ගුවන් ගමන් ගාස්තු ක්‍රමානුකූලව අඩු වූ අතර, එම නිසා ලාභය  පහළ ගොස් ඇත .

පාරිභෝගිකයන් වෙත සමීප වීම, හවුල්කාරීත්ව ජාලයන් නිර්මාණය කරගැනීම සහ තරඟකාරීත්වය ඉහළ නංවා ගැනීම ආදිය ඔස්සේ නාවික ප්‍රවාහන සේවා අංශය වර්ධනය කරගැනීමට සමාගම සමත් වී තිබේ. කාර්තුව තුළ ව්‍යාපාර කටයුතු ප්‍රමාණාත්මකව අවම වුවද, එය සාපේක්ෂව අඩු වේගයකින් ඇති වූ තත්ත්වයකි. කාර්තුව තුළ නෞකා ප්‍රවාහන ගාස්තු අඩු මට්ටමක පැවති අතර, එම නිසා ලාභයන්ද යම්තාක් දුරකට අඩු විය.

වෙළඳපළ අභියෝග මධ්‍යයේ වුවද, එක්ස්පෝලංකා සමාගම එහි පරිමාව, ධාරිතාව සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව වර්ධනය කරගැනීම සඳහා වන දිගුකාලීන බහු-පරිමාණ ක්‍රමෝපායන් ස්ථාවරව අනුගමනය කිරීමට සමත් වී තිබේ.

උතුරු ඇමරිකානු වෙළඳ මාර්ගය තවමත් ව්‍යාපාර කටයුතු සඳහා ප්‍රධාන වශයෙන් වාසිසහගත මාර්ගයක් ලෙස පවතී. යුරෝපීය සහ ආසියා සමාගම්ද ශක්තිමත්ව අභියෝග වලට මුහුණ දෙමින් කාර්තුව තුළ ස්ථාවර වර්ධනයක් වාර්තා කරගෙන තිබේ.

දේශීය කාර්ය සම්පාදන සේවාවන් සම්බන්ධයෙන්ද ක්‍රමානුකූල ප්‍රගතියක් වාර්තා කරගැනීමට EFL සමත් වී ඇත. සියලු වෙළඳපොළ වල තම හැකියාවන් වර්ධනය කරගැනීම ඔස්සේ එහි ලාභය පාරිභෝගිකයන් වෙත ලබාදීමට සමාගමට හැකියාව ලැබී තිබේ.

EFL හි ප්‍රධාන වෙළඳපොළවල් තවමත් අඛණ්ඩව යහපත් ප්‍රතිඵල වාර්තා කරමින් සිටී. පසුගිය වසර 40 ක කාලය තුළ මෙම වෙළඳපොළවල් තුළ යටිතල පහසුකම් වෙනුවෙන් සමාගම කළ ආයෝජනයන් ඵලදායී බව මෙමගින් මැනවින් පැහැදිලි වේ.

මෙම සමාලෝචනයට අදාළ කාර්තුව තුළ සමාගම නව වෙළඳපොළවල් 4 ක් වෙත තම ජාලය ව්‍යාප්ත කළේ ය. යුරෝපීය මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින් එක්සත් රාජධානිය තුළ ව්‍යාපාර කටයුතු ආරම්භ කරන ලද අතර, මධ්‍යම ඇමරිකානු කලාපය තුළ ව්‍යාපාර කටයුතු පුළුල් කිරීම සඳහා ඩොමිනිකන් ජනරජය, කොස්ටරීකා සහ මෙක්සිකෝ යන රටවලද මෙහෙයුම් ස්ථාපිත කරන ලදි.

සංචාරක සේවා අංශය
පැවති ප්‍රවණතාවන් අනුව ඉදිරියට යමින්, කාර්තුව තුළ වඩාත් ඉහළ මට්ටමේ ප්‍රතිඵල වාර්තා කිරීමට සංචාරක සේවා අංශය සමත් විය. තම සේවාවන් එකතුව ප්‍රති-සංවිධානගත කිරීම සඳහා සමාගම අනුගමනය කළ ක්‍රමෝපායන්ගේ සාර්ථකත්වය එම ප්‍රතිඵල මගින් පැහැදිලි වේ. මෙහෙයුම් ක්‍රියාවලි ඩිජිටල්කරණය කිරීම අරමුණු කරගත් පිරිමැසුම්දායක හා කාර්යක්ෂම මෙහෙයුම් ආකෘතියක් භාවිතයට ගැනීම හේතුවෙන්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංචාරක සන්නාමයක් ලෙස හිමි වී ඇති පිළිගැනීම තවදුරටත් තහවුරු කරගැනීමට සමාගමට හැකියාව ලැබිණි.

වෙළඳපොළ කොටස වර්ධනය කරගන්නා අතරම, කාර්යක්ෂම ප්‍රසම්පාදනයට සහ මෙහෙයුම් විශිෂ්ටත්වයට මුල්තැන දීම තුළින්, රු. මිලියන 811 ක ආදායමක් (පෙර වසරට සාපේක්ෂව 233% ක වර්ධනයක්), රු. මිලියන 545 ක ශුද්ධ ලාභයක් (පෙර වසරට සාපේක්ෂව 319% ක වර්ධනයක්) සහ රු. මිලියන 243 ක බදු-පසු ලාභයක් (පෙර වසරට සාපේක්ෂව 2,026% ක වර්ධනයක්) වාර්තා කරගැනීමට සංචාරක සේවා අංශය සමත් වී තිබේ.

ආයෝජන අංශය
ආයෝජන අංශය ස්ථාවරව පවතිමින්, රු. බිලියන 1.7 ක ආදායමක් (පෙර වසරට සාපේක්ෂව 85% ක වර්ධනයක්) සහ රු. මිලියන 295 ක බදු-පසු ලාභයක් (පෙර වසරට සාපේක්ෂව 425% ක වර්ධනයක්) වාර්තා කරගෙන ඇත. මේ සඳහා ප්‍රධාන දායකත්වය ලැබී ඇත්තේ අපනයන අංශයෙනි. අඩු අස්ථාවරත්වයක් සහිත ඉහළ ආන්තික නිෂ්පාදන වෙත යොමුවීමේ ක්‍රමෝපාය, මෙම අංශයේ වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු විය. තොරතුරු තාක්ෂණ ව්‍යාපාරයද මේ වනවිට ක්‍රමයෙන් දියුණු වෙමින්, සමූහයේ සමස්ත කාර්ය සාධනයට වැඩි දායකත්වයක් ලබාදෙමින් සිටී.

මුදල් ප්‍රවාහය සහ තෝලනය
කාරක ප්‍රාග්ධන කළමනාකරණය සහ මුදල් මාරු කිරීම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින්, තම මෙහෙයුම් වලින් ලැබෙන මුදල රු. බිලියන 110 දක්වා වැඩි කරගැනීමට එක්ස්පෝලංකා සමත් වී අතර, එමගින් ණය රු. බිලියන 67 ක් පියවා, එහි තෝලන අනුපාතය 27% දක්වා අඩු කරගැනීමට සමාගම සමත් විය.  

සමාජ සවිඥානිකත්වය සහ ආයතනික යහපාලනය
Expolanka දිගින් දිගටම පාරිසරික, සමාජයීය හා ආයතනික යහපාලන වැඩසටහන් කෙරෙහි අවධානය යොමුකරමින්, ඊට අදාළ මූලික ක්‍රමෝපායික අරමුණු වලට සමගාමීව, ක්‍රියාකාරී වැඩසටහන් සහ ව්‍යාපෘති කිහිපයක්ම ක්‍රියාවට නැංවී ය.

ජනතාවගේ කුසගින්න නිවාලීමේ අරමුණ පෙරදැරිව, ආදරය සහ ගුණයහපත් බව පැතිරවීම උදෙසා ‘යහගුණ පදනම’ දියත් කිරීමටද සමාගම කටයුතු කළේ ය. මේ යටතේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා කොළඹට පැමිණෙන, අඩු ආදායම්ලාභී පවුල් 250 කට දෛනිකව සෞඛ්‍ය සම්පන්න ආහාර ලබාදීම සිදුකෙරේ.

වගකීම් සහගත සහ සමාජ සවිඥානික සේවායෝජකයෙකු ලෙස එක්ස්පෝලංකා, සේවක සුභසාධනය සහ යහපැවැත්ම කෙරෙහි අඛණ්ඩව අවධානය යොමු කර ඇත. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව මේ වනවිට අභියෝගකාරී තත්ත්වයන්ට මුහුණ දෙමින් සිටින නිසා, දේශීය කාර්ය මණ්ඩලයේ යහපත සම්බන්ධයෙන් සමාගමේ සැලකිල්ල දැඩි ලෙස යොමු වී තිබේ.

‘Global Goodness’ යන තේමාව මූලික කරගනිමින්, එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක, හරිත කාර්ය සම්පාදනය සහ කාන්තාවන් සවිබල ගැන්වීම වැනි සංකල්ප ආවරණය කරන වැඩසටහන් ක්‍රියාවට නැංවීමට සමාගම නිරන්තරයෙන් පියවර ගෙන ඇත.

ඉදිරි දැක්ම
ගෝලීය සාර්ව ආර්ථික පරිසරය සහ වෙළඳපොළ තත්ත්වයන් අවිනිශ්චිතව පවතින නිසා අනාගතය පුරෝකථනය කිරීම දුෂ්කර ය.

කෙසේ නමුත් මෙම වෙනස්කම්වලට අනුගත වීමට තමන්ට හැකියාව පවතින බව Expolanka පසුගිය කාලය තුළ මැනැවින් පෙන්නුම් කර තිබේ. වෙළඳපොළ තත්ත්වයන්ට අනුකූලව හැඩගැසෙමින්, තම ක්‍රමෝපායික වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාවට නැංවීමට සමාගම කටයුතු කර ඇත. සියලුම පාර්ශ්වකරුවන්ට වටිනාකම් තිළිණ කිරීම යන මූලික ඉලක්කය පෙරදැරිව, නිරන්තරයෙන් වෙනස්වන සහ විකාශනයවන ගෝලීය තත්ත්වයන්ට මුහුණ දීම සඳහා හැකියාවන්, යටිතල පහසුකම් සහ පද්ධති ගොඩනංවා ගනිමින් සමාගම, දීර්ඝකාලීන දැක්මක් සහිතව ඉදිරියට ගමන් කරමින් සිටී.

Expolanka Holdings PLC මේ වනවිට ලොව පුරා සාර්ථක ලෙස ව්‍යාපාර ගොඩනංවා තිබේ. එය ලොව ප්‍රමුඛතම ගුවන් ප්‍රවාහන සේවා සමාගම් 25 සහ නාවික ප්‍රවාහන සේවා සමාගම් 35 අතරට එක්වී සිටී. Classic Travel යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංචාරක සන්නාමයකි. ‘සියලුම පාර්ශ්වකරුවන් සඳහා දිගුකාලීන තිරසාර වටිනාකම් නිර්මාණය කිරීමට කැපවීම’ යන  ඉලක්කය මුල්කර ගනිමින් සමාගම සිය ව්‍යාපාර කටයුතු වල නිරත වී සිටී.

Visits: 99