Bodyline වසර 30 ක් මුලුල්ලේ CSR ක්‍රියාකාරකම් 30ක් සමඟින් සිය ප‍්‍රජාව ශක්තිමත් කරයි

ප‍්‍රමුඛතම ඇඟලූම් නිෂ්පාදකයෙකු සහ දකුණු ආසියාවේ විශාලතම ඇඟලූම් තාක්ෂණ සමූහය වන MAS Holdings හි අනුබද්ධිත ආයතනයක් වන Bodyline (Pvt) Ltd සිය 30 වන සංවත්සරය සමරන ලදි.

මෙම වසර 30 ක කාලය පුරාවට ආයතනික සමාජ වගකීම් 30ක් හරහා ඔවුන් සිය ප‍්‍රජාවන්ගේ ජීවිත නගාසිටුවීම කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කළේය.

Bodyline සමාගම වසර 30 ක් මුලූල්ලේ සමාජ කි‍්‍රයාකාරකම් රැසක නිරත වී ඇති අතර ඒ හරහා තම සේවක ප‍්‍රජාවන් සහ පාර්ශ්වකරුවන් සඳහා වන සිය කැපවීම සහතික කළේය. ඊට අමතරව Bodyline හි අභිප‍්‍රාය වන්නේ මිනිසා සහ ලෝකය යන සංකල්පමය කුළුණු මත ගොඩනැගී ඇති නව මුලපිරීම් සමඟින් තම දායකත්වය වැඩි කර ගැනීමටත්, අවශ්‍යතා ඇති ප‍්‍රජාවන්ට අත්වැලක් වීමට අභ්‍යන්තර කණ්ඩායම්වලට අවස්ථාවක් ලබා දීමෙන් සේවක සහභාගීත්වය ශක්තිමත් කිරීමටත් ය.

මෙම සුවිශේෂී අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් Bodyline හි ප‍්‍රධාන විධායක නිලධාරී දිනේෂ් ද සිල්වා මහතා මෙසේ පැවසුවේය. ”අපි ශ‍්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සෘජු රැකියා අවස්ථා 60,000කට අධික ප‍්‍රමාණයක් නිර්මාණය කර ඇති අතර අපගේ දැක්ම යථාර්තවත් කරමින් අපගේ පාර්ශවකරුවන්, ගනුදෙනුකරුවන්, කොටස් හිමියන්, සේවකයින් සහ ප‍්‍රජාව කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කර තිබෙනවා. අපගේ ජාත්‍යන්තර සම-නිර්මාණ මධ්‍යස්ථානය හරහා බෙදාහැරීමේ විසඳුම් සපයමින් ලෝ ප‍්‍රකට සන්නාම සඳහා හවුල්කරුයකු ලෙස අපි අපගේ කීර්ති නාමය පතුරවමින් සිටිනවා. අපගේ වර්ධනය බැඳී පවතින්නේ අපගේ ජනතාවගේ වර්ධනය මතයි. ”සිහින යථාර්ථවත් කිරීම සහ ලෝකයේ ජීවන පැවැත්ම සහතික කිරීම” යන අපගේ අරමුණ වෙනුවෙන් අප සමඟ සහයෝගයෙන් වැඩ කරන ප‍්‍රජාවන්ගේ ජීවන තත්වය නගාසිටුවීම සඳහා අපි අපගේ උපරිමයෙන් කැපවෙනවා.”

Bodyline තම ව්‍යාපාරික මෙහෙයුම් හරහා ජාතික ආර්ථිකයට දායකවනවාට අමතරව සමාගම විසින් රාජ්‍ය අංශයේ පාසල් සහ රෝහල් සඳහා යටිතල පහසුකම් ගොඩනැගීම, අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ අවශ්‍යතා සපුරාලීම සහ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට සහය වන විශේෂ ආයතනික සමාජ සත්කාර වැඩසටහන් හරහා දායක වෙමින් ප‍්‍රජාවන් නගා සිටුවීමට අත්වැලක් සපයයි.

”Bodyline වසර 30 ඉක්මවයි” වැඩසටහන හරහා කි‍්‍රයාත්මක කරන ඉදිරි මුලපිරීම් කිහිපයක් පිළිබඳව සඳහන් කරමින්, සමාගමේ තිරසාර ව්‍යාපාර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සෞමි ද-අල්මේදා මහත්මිය පැවසුවේ ”ව්‍යාපෘති 30 න් හතරක් සියලූම සේවකයින් සඳහා විවෘත වන අතරම ඊට අමතරව මාවක් ඔය ගං ඉවුර දෙපස කුඹුක් ගස් 1,000 ක් සිටුවීම ඇතුළුව කළුතර සිට පානදුර දක්වා විහිදෙන කිලෝමීටර් 7 ක වෙරළ තීරය පිරිසිදු කිරීම, පළමු ශේණියේ සිසුන්ගේ පාසල් සැපයුම් සඳහා අරමුදල් රැස් කිරීම සඳහා Bodyline Fit  සහ Fun Run සංවිධානය කිරීම සහ Bodyline හි අක්කර 2 ක භූමි ප‍්‍රමාණයක් පුරා විහිදෙන වනාන්තරයක් විවෘත කිරීම සිදු කරනවා.” යනුවෙනි.

Bodyline සමාගම සිය 30 වැනි සංවත්සරය නිමිත්තෙන් සමාගමට ආසන්න හොරණ ප‍්‍රදේශයේ ප‍්‍රතිසංස්කරණය කරන ලද බස් නැවතුම් පොළවල් දෙකක් ද විවෘත කළේය.

”අපි ඉංගිරිය රෝහලේ නව වැසිකිළි දෙකක් ඉදි කළ අතර බාහිර රෝගී අංශය සහ ETU ඒකකය ප‍්‍රතිසංස්කරණය කර තීන්ත ආලේප කළා.” යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසුවාය.

”අපගේ අඛණ්ඩ සාර්ථකත්වය සහ වර්ධනය අපව Bodyline හි 30 වන සංවත්සරය කරා ගෙන ආ අතර ඒ ගමනේ දී ආර්ථික හා දේශපාලන බලපෑම්වලට ශක්තිමත්ව ඔරොත්තු දෙමින් අපගේ ප‍්‍රජාවන් සඳහා ඉහළ දායකත්වයක් දැක්වීමටද අපට හැකි වී තිබෙනවා.” යනුවෙන් සමාගමේ දැක්ම යළි යළිත් සාක්ෂාත් කරමින් Bodyline හි මානව සම්පත් සහ තිරසාර ව්‍යාපාර අධ්‍යක්ෂ වෙනුර අත්තනායක මහතා පැවසුවේය.

‘රණවිරුගම’ වැඩසටහන හරහා ත‍්‍රිවිද හමුදාවේ සෙබළුන් සඳහා නිවාස ඉදිකිරීම, හොරණ මූලික රෝහලේ දරුවන්ට HDU ඉදිකිරීම ඇතුළු සමාගමේ ප‍්‍රධාන ව්‍යාපෘති මෙරට ප‍්‍රජාව ද ආදරයෙන වැළඳගත් ව්‍යාපෘති ලෙස පෙන්වා දිය හැකිය. එමෙන්ම හොරණ විද්‍යාරත්න විද්‍යාලයීය දරුවන්ට බොක්සිං ක‍්‍රීඩා කිරීමට බොක්සිං වළල්ලක් තනා දීමෙන් ප‍්‍රජාවන් අතර බොක්සිං වැනි ක‍්‍රීඩා නගා සිටුවීමට ද සමාගමට හැකි විය.

Bodyline යනු MAS Holdings, Triumph International Germany සහ Mast Industries USA අතර ඇති කරගත් හවුල් ව්‍යාපාරයකි. සංකල්පයේ සිට බෙදා හැරීම දක්වා ඇඟලූම් නිෂ්පාදනය කිරීමේ හැකියාව සමාගම සතුව ඇත. ඉහළ පෙලේ next-to-skin කී‍්‍රඩා ඇඟලූම් සපයනු ලබන ඔබේ ශරීරයේ ප‍්‍රමාණයටම සහ හැඩයට නිර්මාණය කර ඇති ඇඳුම් නිෂ්පාදනයේ ප‍්‍රමුඛයා ලෙස එය ප‍්‍රසිද්ධයක් උසුලයි.

සමාගම ඉහළ පෙලේ නවීන සමීපතම ඇඟලූම්  නිෂ්පාදනය සඳහා ද නමක් දරා සිටී. තනි පුද්ගලයෙකු සඳහා නිෂ්පාදනය කෙරෙන ඉතා සරල විලාසිතා නිර්මාණයක සිට විවිධ ජාත්‍යන්තර සන්නාම නිෂ්පාදන කාණ්ඩ හරහා විලාසිතා නිර්මාණ දක්වා සමාගම ක‍්‍රම ක‍්‍රමයෙන් වර්ධනය වී ඇත.

Visits: 58