බ්ලූ ඕෂන් සමාගම් සමූහය Kelsey Developments PLC හි ඉතිරි 40%ත් මිලදී ගැනීමට යයි

ජනශක්ති සමූහයට අයත්, කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත Kelsey Developments PLC හි 60%ක කොටස් ප්‍රතිශතයක් මිලදී ගත් බ්ලූ ඕෂන් සමාගම් සමූහය එම සමාගමෙහි ඉතිරි 40%ක කොටස් ප්‍රතිශතයක් මිලදී ගැනීමට සූදානමින් සිටින බව පවසයි.

පසුගිය නොවැම්බර් 15 වැනිදා සිදු වුණු ගනුදෙනුවකට අනුව බ්ලූ ඕෂන් සමාගම් සමූහයට අයත් බ්ලූ ඕෂන් රෙසිඩන්සීස් (පෞද්) සමාගම මගින් Kelsey Developments PLC හි බහුතර කොටස් ප්‍රමාණයක් මිලදී ගැනීම සිදු විය.

එහිදී Kelsey Developments PLC හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් දෙදෙනකු වූ ප්‍රකාශ් ෂාෆ්ටර් සහ රමේෂ් ශාෂ්ටර් යන සහෝදරයන් දෙදෙනා සමස්ත කොටස් අතරින් තමන් සතුව තිබූ 30%ක බැගින් වූ 60% කොටස් ප්‍රමාණයක් මෙලෙස අලෙවි කිරීම සිදු විය.

මෙම ගනුදෙනුවේදී Kelsey Developments PLC හි කොටසක් රුපියල් 24.60ක් බැගින් අලෙවි වූ අතර සමස්ත ගනුදෙනුවේ වටිනා කම රුපියල් මිලියන 257ක් විය.

ඒ අනුව බ්ලූ ඕෂන් රෙසිඩෙන්සීස් (පෞද්) සමාගම මගින් එම සමාගමෙහි ඉතිරි කොටස් 40%ක ප්‍රතිශතයත්, කොටසක් රුපියල් 24.60ක් බැගින් මිලදී ගැනීමට කැමැත්ත පළ කර තිබේ.

2022 නොවැම්බර් 18 වැනිදා ප්‍රසිද්ධියට පත් කෙරුණු Kelsey Developments PLC හි තාවකාලික මූල්‍ය ප්‍රකාශනයට අනුව 2022 සැප්තැම්බර් 30 වැනිදායන් අවසන්වූ තෙවැනි කාර්තුව අවස්ථාවේදී එම සමාගමෙහි කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 7,428‍්,393 බැගින් වූ කොටස් ප්‍රමාණයක් ප්‍රකාශ් ෂාෆ්ටර් සහ රමේෂ් ෂාෆ්ටර් යන මහත්වරුන් වෙත හිමිව තිබුණි. එය ප්‍රතිශතයක් ලෙස 42.62%කි.

එසේම එම සමාගමෙහි තෙවැනි විශාලතම කොටස් හිමිකරුවා වූයේ පෑන්ඒෂියා බැංකුව/එම් මැතිව්ස් මහත්මිය අතර පවත්නා ගිණුමයි. එය 4.75%ක කොටස් ප්‍රතිශතයකි. එසේම සිව්වැනියට වැඩිම කොටස් හිමිකරුවා ලෙස ටී ඔනෝ මහතා සතුව කොටස් 369,274ක් එනම් 2.12%ක ප්‍රතිශතයක් හිමිය.

එසේම එම දිනය වන විට සමාගම නිකුත් කර ඇති සමස්ත කොටස් අතරින් 14.76%ක ප්‍රතිශතයක් මහජන කොටස් හිමිකාරීත්වයක් ලෙස පැවැති අතර, එම මහජන කොටස් හිමිකාරීත්වය කොටස් හිමිකරුවන් 1,149ක් අතර බෙදී ගොස් ඇතැයිද සඳහන්ව තිබේ.

Visits: 91