“ලොව නිල් මැණික් අගනුවරට පැමිණ සංචාරයේ නිරත වන්න” – චීන තානාපති ආචාර්ය පාලිත කොහොන

ශ්‍රී ලංකාව සහශ්‍ර ගණනාවක් මුළුල්ලේ වටිනා වර්ණවත් ගල් වර්ග රාශියක් නිෂ්පාදනය කර තිබෙන බවත්, වර්තමානයේදී එය ලොව නිල් මැණික් අගනුවර ලෙස පිළිගැනීමට පාත්‍ර වී තිබෙන බවත් චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා පවසයි.

පසුගියදා පැවැති CIIE ජාත්‍යන්තර ස්වර්ණාභරණ සමුළුවේ ප්‍රධාන දේශකයා වශයෙන් සහභාගී වෙමින් තානාපතිවරයා මේ අදහස් පළ කළ බව චීනයේ බීජිං නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකාව සතු අතිවිශිෂ්ට මැණික් සම්පතෙන් මැණිකක් මිලදී ගැනීමේ සිහිනය තෘප්තිමත් කරගැනීම සඳහා පමණක් නොව, ශ්‍රී ලංකාව සතු අසමසම සහ අද්විතීය සංචාරක ආකර්ෂණයන් නැරඹීම සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලෙස ආචාර්ය පාලිත කොහොන මහතා මෙහිදී පවසා තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති තානාපතිවරයා, රජවරුන්, රැජිණියන් සහ කුමාරිකාවන් වර්තමානයේදී ද  ශ්‍රී ලංකාවේ අතිවිශිෂ්ට මැණික් පළඳින බවත්, විශාල ප්‍රමාණයේ මැණික් කෞතුකාගාරවල ප්‍රදර්ශනය සඳහා තබා ඇති බවත් එතුමා සඳහන් කර තිබේ.

“ශ්‍රී ලංකාව සහශ්‍ර ගණනාවක් මුළුල්ලේ වටිනා වර්ණවත් ගල් වර්ග රාශියක් නිෂ්පාදනය කර තිබෙනවා. එසේම එය අඛණ්ඩව සිදු කරමින් සිටිනවා. අපගේ මාතෘභූමිය තවමත් ඉන් විඩාවට පත්ව නැහැ. එනිසා වර්තමානයේදී ශ්‍රී ලංකාව ලොව නිල් මැණික් අගනුවර ලෙස පිළිගැනීමට පාත්‍ර වී තිබෙනවා.” යනුවෙන්ද තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා පවසා තිබේ.

මෙම අවස්ථාවට රජයේ නියාමන ආයතනවල නියෝජිතයින් සහ ෂැංහයි මැණික් හා ජේඩ් හුවමාරු ආයතනය ඇතුළු චීන මැණික් කර්මාන්තයේ විශාල පිරිසක් සහභාගී වී තිබේ.

ෂැංහයි මහජන රජයේ ෂූ ගයියු මහතා,  සන්නාම සංවර්ධනය පිළිබඳ චීන කවුන්සිලයේ සභාපති ලියූ පින්ග්ජුන් මහතා මෙම අවස්ථාවට සහභාගී වූ දේශකයන් අතරට ඇතුළත් වී තිබේ.

නීල පුස්තක පිළිබඳව අදහස් දැක්වූ  පොදු ප්‍රමිති පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනයේ  සභාපති ගයිටානෝ කැවලියේරි මහතා, වර්ණ ගල් සංගමයේ සභාපති ක්ලෙමන්ට් සබාග් මහතා සහ ආසියාන් මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ සභාපතිවරයා මීට සහභාගී වූ ජාත්‍යන්තර දේශකයන් අතර සිටි බවත් තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 79