HNB අභියෝගාත්මක මුල් මාස 9 සඳහා ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරයි

හැටන් නැෂනල් බැංකුව 2022 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ මාස නවය සඳහා රුපියල් බිලියන 12.4 ක බදු පෙර ලාභයක් සහ රුපියල් බිලියන 10.5 ක බදු පසු ලාභයක් වාර්තා කර ඇත. මේ අතර අදාල කාල සීමාව සඳහා HNB සමූහය රුපියල් බිලියන 11.6 ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත්ව ඇත.

ගත වූ මාස නවය සඳහා ලබා ගත් මූල්‍ය ප‍්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් HNB සභාපතිනී, අරුණි ගුණතිලක මහත්මිය පැවසුවේ ‘‘අතිශයින්ම අභියෝගාත්මක තත්වයන් යටතේ අප පෙන්නුම් කර තිබෙන කාර්යසාධනය මගින් අපගේ ගනුදෙනුකරුවන් විසින් අප කෙරෙහි තබා ඇති විශ්වාසය, අපගේ ශක්තිමත් ව්‍යාපාර ආකෘතිය හා ශක්තිමත්භාවය සහ දැඩි අවිනිශ්චිතතාවයන් මධ්‍යයේ සාර්ථකව ඉදිරියට ගමන් කිරීමට අපගේ කණ්ඩායමේ ඇති දැඩි කැපවීම හා විශේෂඥභාවය පැහැදිලිව පෙන්නුම් කරනවා. දිගුකාලීන වටිනාකමක් ලබා දීම සඳහා වූ අපගේ නොසැලෙන උනන්දුව හා කැපවීම නැවත අවධාරණය කිරීමටත් සහ අපගේ සාර්ථකත්වය සඳහා ඔවුන් ලබා දෙන අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් අපගේ ගනුදෙනුකාරභවතුන්ට, සමස්ත HNB කණ්ඩායමට, කොටස්හිමියන්ට සහ අනෙකුත් සියලූම පාර්ශ්වකරුවන්ට මගේ අවංක කෘතඥතාව පුද කිරීමට කැමතියි.’’ යනුවෙනි.

බැංකුවේ පොලී ආදායම 86% කින් වර්ධනය වී රුපියල් බිලියන 134.9ක් වී ඇති අතර එයට මූලික වශයෙන් හේතු වූයේ ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් අනුගමනය කරන ලද දැඩි මූල්‍ය ප‍්‍රතිපත්තියට අනුකූලව බර තබන ලද සාමාන්‍ය ප‍්‍රමුඛ ණය පොලී අනුපාතිකය (AWPLR) ප‍්‍රතිශතාංක 12කට වඩා වැඩි අගයකින් ඉහළ යාමයි. ඒ අනුව, 2022 සැප්තැම්බර් මාසය දක්වා වූ පළමු මාස නවය තුළ බැංකුවේ ශුද්ධ පොලී ආදායම පසුගිය වසරට සාපේක්ෂව 100% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 71.1 ක් බවට පත්ව තිබේ.

2021 වසරේ අදාල කාල පරිච්ෙඡ්දයට සාපේක්ෂව වෙළඳ කටයුතුවලින් සහ කාඞ්පත්වලින් ලැබූ ඉහළ ආදායම හේතුවෙන් ශුද්ධ ගාස්තු ආදායම පසුගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 11.0ක එනම් 65% ක විශාල වර්ධනයක් වාර්තා කිරීමට සමත්ව ඇතx මීට අමතරව, එම කාල පරිච්ෙඡ්දය තුළ 80%කට වඩා වැඩි අගයකින් රුපියලේ අගය අවප‍්‍රමාණය වීම හේතුවෙන් රුපියල් බිලියන 16.8 ක සුවිශේෂී විනිමය ආදායමක් උපයා ගැනීමට හැකි විය.

සමස්ත මෙහෙයුම් ආදායම 110% කින් වැඩි වී රුපියල් බිලියන 99.7 ක් බවට පත් වී ඇති අතර අදාල මාස 9 සඳහා වන සමස්ත හානි පූරණ ගාස්තු 438% කින් වැඩි වී රුපියල් බිලියන 60.3ක් වී ඇත. මෙයට බැංකුව සතු විදේශ විනිමයවලින් ආයෝජනය කර ඇති රජයේ සුරැකුම්පත් හේතුවෙන් සිදු විය හැකි රුපියල් බිලියන 41 ක හානි පූරණ ගාස්තුවක් ඇතුළත් විය. අයහපත් වෙළෙඳපොල තත්වයන් හේතුවෙන් බැංකුවේ net stage III අනුපාතය 2021 දෙසැම්බර් අවසානය වන විට 2.55% සිට 3.34%ක් දක්වා වර්ධනය වී ඇත. 2021 වසරේ අදාල කාල පරිච්ෙඡ්දය තුළ වෙන් කරන ලද රුපියල් බිලියන 9.9 ක ප‍්‍රතිපාදනයට සාපේක්ෂව මේ වසරේ අදාල මාස 9 සඳහා ණය සහ අත්තිකාරම් ලෙස රුපියල් බිලියන 19.3 ක හානි පූරණ ගාස්තුවක් බැංකුව වෙන් කර ඇත.

පසුගිය වසරට සාපෙක්ෂව 70%ක උද්ධමනය සහ රුපියලේ අගය 80%කින් අවප‍්‍රමාණය වීම යන පසුබිම තුළ මේ වසරේ අදාල මාස 9 සඳහා වන මෙහෙයුම් වියදම් වැඩිවීම 27%කට සීමා කිරීමට HNB සමත්ව ඇත. බැංකුවේ ආදායම් පිරිවැය අනුපාතය අදාල මාස 9 සඳහා 22.9%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය පසුගිය වසරේ අදාල කාල පරිච්ෙඡ්දය හා සැසඳීමේදී ප‍්‍රතිශතාංක 15 ක වැඩි වීමක් පෙන්නුම් කරයි. මේ හේතුවෙන් අදාල කාල පරිච්ෙඡ්දය තුළ ශුද්ධ ආදායම සැලකිය යුතු වර්ධනයක් වාර්තා කර ඇත. 

2022 සැප්තැම්බර් දක්වා වන මාස නවයක කාලය තුළදී බැංකුවේ වත්කම් පදනම 20.2% කින් පුළුල් වී රුපියල් ටි‍්‍රලියන 1.6 ක් වී ඇති අතර දළ ණය සහ අත්තිකාරම් ප‍්‍රමාණය 13.1% කින් ඉහළ ගොස් රුපියල් ටි‍්‍රලියන 1.1 ක් බවට පත්ව ඇත. අදාල මාස නවයක කාලය තුළ සමස්ත තැන්පතු ප‍්‍රමාණය 25.1%ක වර්ධනයක් වාර්තා කරමින් රුපියල් ටි‍්‍රලියන 1.3 ක් වී ඇත. තවද HNB හි දේශීය මුදල් තැන්පතු 17.3% කින් වර්ධනය වී රුපියල් බිලියන 993 ක් වී ඇති අතර සමස්ත ශේෂ පත‍්‍රයේ වර්ධනයට රුපියල අවප‍්‍රමාණය වීම සැලකිය යුතු බලපෑමක් එල්ල කර තිබේ.

ලබා ගත් මෙම මූල්‍ය ප‍්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී, ජොනතන් අලස් මහතා පැවසුවේ, ‘‘මේ වන විට රට මුහුණ දී සිටින දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටිනවා. එහි ප‍්‍රතිඵලයක් ලෙස සමස්ත බැංකු ක්ෂේත‍්‍රයටම අභියෝග රැසක් එල්ල වී තිබෙනවා. විදේශ විනිමය ද්‍රවශීලතා සීමාවන් නිසා පාරිභෝගිකයින්ට සහාය වීමට ඇති හැකියාවට බලපෑම් එල්ල වී තිබීම අපට ඇති ප‍්‍රධාන අභියෝගයක්.

2019 සිට කාරක ප‍්‍රාග්ධන ණය සහ පොලී සහන ලබා දීම මගින් මූල්‍ය සහාය අවශ්‍ය ගනුදෙනුකාරභවතුන්ට බැංකු ක්ෂේත‍්‍රය අඛණ්ඩව සහයෝගය ලබා දුන්නා. එහිදී සැලකිය යුතු පිරිසක් සිය ජීවනෝපාය නැවත නගා සිටුවීමට කටයුතු කළ අතර තවත් ගනුදෙනුකරුවන් විශාල සංඛ්‍යාවක් තවත් පීඩා විඳිනවා. එහි ප‍්‍රතිඵලයක් ලෙස වත්කම්වල ගුණාත්මකභාවය මත පීඩනය වැඩි වී තිබෙනවා.

අඩු ආදායම් මට්ටම්, ඉහළ පොලී අනුපාත, උද්ධමනය සහ ඉහළ බදු හේතුවෙන් ගනුදෙණුකරුවන්ගේ ආපසු ගෙවීමේ හැකියාවට දැඩි බලපෑම් එල්ල කර ඇති බැවින් තත්වය තවත් උග‍්‍ර වී තිබෙනවා. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස ණය හානිපූරණ සඳහා ඉහළ ප‍්‍රතිපාදන වෙන් කිරීමට සිදුව තිබෙනවා. විදේශ විනිමයවලින් ආයෝජනය කර ඇති රජයේ සුරැකුම්පත් හේතුවෙන් අලූත ප‍්‍රාග්ධනය රැස් කිරීමට සුදුසු නොවන අවස්ථාවක ප‍්‍රාග්ධනයට ඇති අමතර බරක් ලෙස පෙන්වා දිය හැකියි.’’ යනුවෙනි.

Visits: 60