W.M. Mendis යළිත් සිය මෙහෙයුම් අරඹයි

මෙරට සුප්‍රසිද්ධ මෙන්ඩිස් මත්පැන් වෙළෙඳ පොළට නිකුත් කළ සමාගම වූ ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම (W.M. Mendis & Co. Ltd) සමාගම යළිත් සිය සුපුරුදු මෙහෙයුම් ආරම්භ කර ඇතැයි පවසයි.

ඊයේ (15දා) දිනයේදී පළ වුණු DailyFT පුවත්පත වෙත පුවත් නිවේදනයක් ලබාදෙමින් එම සමාගම මෙලෙස සිය නිෂ්පාදන මෙහෙයුම් යළිත් ආරම්භ කළ බව සඳහන් කර තිබේ.

විශේෂයෙන්ම තම සමාගම වසර 75කට ආසන්න කාලයක් පුරා මෙම මත්පැන් කර්මාන්තය තුළ සුවිශේෂී සටහනක් තබා ඇති බවත්, මෙන්ඩිස් යනු ශ්‍රී ලාංකික උරුමයක් සහිත වෙළෙඳනාමයක් බවත් මතක් කර දෙයි.

මේ අතර නැවතත් ඇරඹෙන එම සමාගමෙහි නිෂ්පාදන කටයුතු හරහා කඩිනමින් රට පුරා ගොවීන් 15,000කට අධික පිරිසකට ආර්ථික සවිබලගැන්වීමක් සිදු කිරිමක්ද බලාපොරොත්තු වන බවත් සමාගම වැඩිදුරටත් පවසා සිටියි.

1947 වසරේදී ආරම්භ කෙරුණු ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම ගතවූ කාලසීමාවේදී එකිනෙකට වෙනස් විවිධ වර්ගයේ නිෂ්පාදන රැසක්ම වෙළෙඳ පොළට නිකුත් කිරීමට සමත්විය. එහිදී දේශීය වෙළෙඳ පොළ පමණක් නොව සැබෑ ශ්‍රී ලාංකික නිෂ්පාදනයක් ලෙස ජාත්‍යන්තරය ජයගැනීමේ අවස්ථාවක්ද තමන්ට පැවැති බවත් එම සමාගම පවසයි.

මෙලෙස යළිත් නිෂ්පාදන කටයුතු ආරම්භ කිරිමත් සමගින්ම දේශීය සැපයුම් දාමයේ වඩාත් තිරසාරබවක් ඇති කිරීමට හැකියාවක් ලැබෙනු ඇති බවත්, ඒ හරහා සමාජයන් වෙත ඍජු හා වක්‍ර රැකියා අවස්ථා සම්පාදනය කළ හැකි වෙනු ඇතැයිද සමාගම සඳහන් කරයි.

විශේෂයෙන්ම වර්තමානයේදී රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් ආර්ථිකමය වශයෙන් අනතුරට භාජනය වී ඇති සමාජයන් වෙත ශක්තිමත් ආදායමක් සුරක්ෂිත කිරිමටද මේ හරහා හැකියාව ලැබෙනු ඇතැයි සමාගම පවසයි.

මෙම ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සමාගම පසුගිය කාලසීමාවේදී මහ බැංකු බැඳුම්කර වංචාව හා සම්බන්ධව චෝදනා ලැබූ ප්‍රාථමික ගැණුම්කාර සමාගමක් වන පර්පර්චුවෙල් ට්‍රෙෂරීස් සමාගම යටතේ ක්‍රියාත්මක වූ සමාගමකි.

මෙම චෝදනා යටතේ පර්පර්චුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපතිවරයා වූ අර්ජුන් ඇලෝසියස් මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ අවස්ථාවේදී ඔහුට අයත් සමාගම් හි මෙහෙයුම් කටයුතුද අත්හිටුවීමට අධිකරණය පියවර ගත්තේය. එසේම ඒ වනවිටත් මෙන්ඩිස් සමාගම සුරාබදු දෙපාර්තමේන්තුවට අයවිය යුතු අතිවිශාල බදු මුදල් ගෙවීමක් පැහැර හැර ඇති බවටද වාර්තා විය.

කෙසේ වෙතත් අර්ජුන් ඇලෝසියස් මහතා අධිකරණයෙන් නිදහස ලබා පැමිණීමෙන් අනතුරුව පසුගිය වසරේ ජූනි මාසයේදී ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ මෙහෙයුම් යළි ආරම්භ කිරීමක් පිළිබඳව පවසා සිටියේය.එහෙත් අධිකරණ නියෝගයක් හරහා එය අත්හිටුවුණි.

මේ අතර ඊයේ දිනයේදී පාර්ලිමේන්තුව තුළ අදහස් දක්වා ඇති ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා, මෙන්ඩිස් සමාගම විසින් සුරාබදු දෙපාර්තමේන්තුව වෙත ගෙවිය යුතුව ඇති රුපියල් මිලියන 204ක හිඟ බදු මුදලක් තවමත් ගෙවා නොමැති බවත් පවසා සිටියේය.

Visits: 167