SLT සමූහය 2022 මුල් මාස 9 තුළ රු. බිලියන 79.6ක ආදායමක් වාර්තා කරයි

SLT සමූහය, 2022 වසරේ මුල් මස 9 තුළ රු. බිලියන 79.6ක ධනාත්මක ආදායමක් වාර්තා කර තිබේ. මෙය පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 3.9%ක ඒකාබද්ධ වර්ධනයකි. මූල්‍ය සහ මෙහෙයුම් කළමනාකරණය වෙනුවෙන් ගත් විචක්ෂණශීලී සහ කඩිනම් පියවර මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපා ඇත.

ව්‍යාපාර ආකෘතියේ ශක්‍යතාව විදහා දක්වමින්, සමාගම් මට්ටමින්, SLT හි තුන්වැනි කාර්තුවේ ආදායම රුපියල් බිලියන 16.9 දක්වා වර්ධනය වූ අතර, එය පසුගිය වසරේ සමාලෝචිත කාලසීමාවට සාපේක්ෂව 7.4%ක වර්ධනයකි. එමෙන්ම වසරේ මේ දක්වා මුළු ආදායම සලකා බැලීමේදී, එය රු. බිලියන 49.4ක් දක්වා, එනම් 10.6% කින් වර්ධනය වී තිබේ. 2022 මුල් මස 9 තුළ SLT සමූහය සෘජු හා වක්‍ර බදු සහ ලාභාංශ වශයෙන් ශ්‍රී ලංකා රජයට රු. බිලියන 21 ක මුදලක් ගෙවා ඇත.

පෙර වසරේ අදාළ කාර්තුවට සාපේක්ෂව මෙම වසරේ තුන්වැනි කාර්තුවේ සමූහයේ දළ ලාභය 0.8%ක වර්ධනයක් පෙන්නුම් කරමින් රු. බිලියන 11.1 ක් දක්වා වැඩිවී ඇත. සමූහයේ මුල් මාස 9 හි දළ ලාභය, පෙර වසරට සාපේක්ෂව 3.4%ක පහළ යාමක් පෙන්නුම් කරමින්, රු. බිලියන 33.4 ක් ලෙස වාර්තා වී ඇත. සමූහයේ බදු-පසු ලාභය (පෙර වසරේ අදාළ කාර්තුවට සාපේක්ෂව) 27.1% දක්වා පහළ ගිය අතර, වසරේ මේ දක්වා බදු-පසු ලාභය ද 34.1% ක පහළ යාමක් පෙන්නුම් කරයි.

සමාගම් මට්ටමින් ගත්විට, ශ්‍රී ලංකා ටෙලිකොම් හි දළ ලාභය පෙර වසරේ අදාළ කාර්තුවට සාපේක්ෂව 9.3% කින් ඉහළ ගොස් රු. බිලියන 7.2 ක් ලෙස වාර්තා වන අතර, 2022 වසරේ මුල් මාස 9 තුළද එය 7.1% කින් වර්ධනය වී රු. බිලියන 20.4 ක් ලෙස සටහන් වී ඇත. තවද, සමාගම් මට්ටමින්, පළමු මාස ​​නවය සඳහා බදු-පෙර ලාභය පසුගිය වසරේ සමාලෝචිත කාලය හා සංසන්දනය කරන විට 136.1% ක සැලකිය යුතු වර්ධනයක් වාර්තා කර ඇත.

ඇමරිකානු ඩොලර් තැන්පතුවලට අදාළ, රු. බිලියන 5.6 ක විනිමය ලාභ මෙන්ම, රු. බිලියන 1.1ක පොලී ආදායම සහ රු. බිලියන 2.3 ලාභාංශ ලැබීම් මේ ප්‍රගතිය සඳහා දායක වී ඇත. මෙම කාලසීමාව සඳහා බදු-පසු ලාභය ද 82.8% ක සැලකිය යුතු මට්ටමේ වර්ධනයක් වාර්තා කරගනිමින් රු. බිලියන 9.3ක් ලෙස වාර්තා වන අතර, රුපියල අවප්‍රමාණය වීමෙන් ලද විදේශ විනිමය ලාභය සහ අනුබද්ධ සමාගම් වලින් ලැබුණු ලාභාංශ ආදායම මීට ප්‍රධාන වශයෙන් හේතු විය. සමාගමේ බදු-පසු ලාභයේ වර්ධනය, පෙර වසරේ අදාළ කාර්තුවට සාපේක්ෂව සෘණ 76.6% කි.

SLT සමූහ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා: “සමූහය නැවත වරක් ධනාත්මක ආදායම් වර්ධනයක් සනිටුහන් කළ කාර්තුවක් පසුකර තිබීම අපට සතුටක්. අපගේ මේ ස්ථාවර ප්‍රතිඵලවලට මූලික වශයෙන් හේතු වී ඇත්තේ පිරිවැය අඩු කිරීම සඳහා සිදුකළ කළමනාකරණ මැදිහත්වීම්, බලශක්ති පිරිවැය අඩු කිරීම, මෙහෙයුම් කටයුතු අප සතු ගොඩනැගිලිවලම ස්ථාපිත කිරීම සහ ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීමේ රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුගතව වත්කම් මූල්‍යකරණය කිරීම යනාදියයි. 2022 වසරේ ශ්‍රී ලාංකේය ඉතිහාසයේ වඩාත්ම දුෂ්කර කාලපරිච්ඡේදයක් වුවත්, සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගනිමින් ස්ථාවර ආදායම් වාර්තා කිරීමට අප සමත් වී ඇති බව මෙම ප්‍රතිඵල මගින් පැහැදිලි වනවා. ධනාත්මක ඉදිරි දැක්මක් ඇතිව සියලු බාධක ජය ගනිමින් සමාගම පරීක්ෂාකාරී ලෙස සිව්වන කාර්තුව වෙත ගමන් කරමින් සිටිනවා.”

දේශීය වාහක සේවා, අන්තර්ජාල සේවා සහ ජාත්‍යන්තර සේවා යන සේවා අංශවල වර්ධනය, සමාගමේ ආදායම් වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ. Ethernet, international private leased circuit (IPLC) සහ internet leased line (ILL) සේවා ලබාදීම දේශීය සේවාවන්හි වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. අන්තර්ජාල සේවාවන්හි වර්ධනයට ප්‍රධාන වශයෙන් FTTH Broadband හේතු වූ අතර, ඇමරිකානු ඩොලරයේ අගය රුපියලට සාපේක්ෂව ඉහළ යාම ජාත්‍යන්තර සේවාවන්ගෙන් ලැබුණු ආදායම වර්ධනය වීමට බලපා තිබේ. කෙසේ වුවද, 2022 අප්‍රේල් මාසයේ සිට ගාස්තු අඩුකිරීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ගත් තීරණය හේතුවෙන්, දේශීය අන්තර්සම්බන්ධතා ආදායම අඩු වී ඇත.

“සන්නාම ඒකාබද්ධ කිරීම සහ අපගේ මෙහෙයුම් සියල්ල එකම ගොඩනැගිල්ලක් කරා රැගෙන ඒමත් සමග, SLT සමූහය කලාපීය වශයෙන් දැවැන්ත තාක්ෂණ සමූහ ව්‍යාපාරයක් බවට පත්කිරීමේ මෙහෙවර වේගවත්ව ඉදිරියට රැගෙන යාමට අප බලාපොරොත්තු වනවා. 2023 වසරේදී මැද භාගයේදී අපගේ අතිනවීන, උසස් තාක්ෂණයෙන් යුත්, පරිසර හිතකාමී ප්‍රධාන කාර්යාලයේ සිට මෙහෙයුම් ආරම්භ කිරීමත් සමග මෙය ක්‍රමානුකූලව සිදුවේවි.” SLT සමූහ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා ඉදිරි දැක්ම සම්බන්ධයෙන් වැඩිදුරටත් පැවසී ය.

සමූහයේ ජංගම දුරකථන සේවා අංශය වන මොබිටෙල් හි ආදායම, පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව මෙම වසරේ තුන්වැනි කාර්තුව තුළ අඩු වීමක් පෙන්නුම් කරයි. සාර්ව ආර්ථික අභියෝග, බදු සංශෝධන සහ දේශීය අන්තර්සම්බන්ධතා ගාස්තු අඩු වීම ආදිය මීට බලපා ඇත. කෙසේ වුවද ජාත්‍යන්තර ව්‍යාපාර කටයුතු වලින් ලැබෙන ආදායම ඉහළ යාම සහ, ඵලදායීතාව හා කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ වැඩසටහන් ක්‍රියාවට නැංවීම ආදිය හේතුවෙන්, අනුබද්ධිත සමාගමට ක්ෂේත්‍රය තුළ ලාභදායී ලෙස පැවතීමට හැකියාව ලැබී තිබේ.

SLT සමූහයේ පොලී ගෙවීම්, බදු ගෙවීම්, ක්ෂයවීම්, ක්‍රමක්ෂය ආදියට පෙර ලාභය, පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව මෙම වසරේ මුල් මස 9 තුළ 1.3% ක සුළු පහළ යාමක් පෙන්නුම් කර ඇත. කෙසේ වුවද සමාගම් මට්ටමින් පිරිවැය අඩුකරගැනීම සහ වත්කම් වලින් මුදල් ඉපයීම වැනි අරමුණු වෙනුවෙන් ක්‍රියාවට නංවන ලද විවිධ වැඩසටහන් හේතුවෙන්, පොලී ගෙවීම්, බදු ගෙවීම්, ක්ෂයවීම්, ක්‍රමක්ෂය ආදියට පෙර ලාභයේ 5%ක වර්ධනයක් වාර්තා වී තිබේ. පිරිවැය පාලනය සහ වත්කම් මූල්‍යකරණය මේ සඳහා දායක වී ඇත. සමස්තයක් ලෙස සමූහයේ EBITDA ආන්තිකය කෙරෙහි උද්ධමනය නිසා මෙහෙයුම් වියදම්වල ඉහළ යාම බලපා ඇත.

රුපියලේ අගය අවප්‍රමාණය වීම සහ අධික උද්ධමන වියදම් හේතුවෙන් 2022 වසරේ මුල් මාස 9 තුළ සමූහයේ මෙහෙයුම් ලාභය 15.5% කින් පහළ ගොස් තිබේ. විදේශ විනිමය හුවමාරු අගයන් අවප්‍රමාණය වීම, ඉන්ධන වියදම් ඉහළ යාම සහ උද්ධමනය ආදිය නිසා SLT සහ Mobitel ඇතුළුව සමූහයේ මෙහෙයුම් වියදම් ඉහළ ගියේ ය.

විදුලි කප්පාදුව නිසා පෙර වසරට සාපේක්ෂව විදුලි බල වියදම් අඩු වී ඇති නමුත්, එම හේතුව නිසා මෙන්ම ඉන්ධන මිලගණන් ඉහළ යාම නිසා, විදුලි ජනක යන්ත්‍ර සඳහා වැයවන ඉන්ධන වියදම් ඉහළ ගොස් ඇත.

2022 වසරේ දෙවැනි කාර්තුව තුළ රුපියලෙහි අගය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව විශාල වශයෙන් අවප්‍රමාණය වීම හේතුවෙන් එම කාර්තුව තුළ රු. බිලියන 2.3 විදේශ විනිමය ඉපැයුමක් වාර්තා කිරීමට SLT සමත් විය. ඊට සාපේක්ෂව 2022 තුන්වන කාර්තුව තුළ විදේශ මුදල් හුවමාරු අගයන් ස්ථාවර වීම හේතුවෙන්, මෙම කාර්තුවේ විදේශ මුදල් හුවමාරු ඉපැයුම රු. බිලියන 0.1 වැනි නාමික මට්ටමක් වාර්තාකර තිබේ.

Visits: 53